වැදි නායකයාගේ එකම දුව ගාමන්ට් රස්සාවක…

වැදි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ එකම දියණිය අතුරුදන් වී සිට පිළියන්දලින් හමුවූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇයව සොයා ගෙන තිබුණේ පිළියන්දල ප‍්‍රදේශයේ ඇගලූම් කම්හලක සේවය කරමින් සිටියදීය.වැදි නායකයාගේ දියණියගේ සැමියා දුන් ඔත්තුවක් මත ඇය සොයා ගත් බව පොලිසිය පවසා තිබිණි.

එහෙත් ඇය සිය සැමියා සමග ගමට යෑම ප‍්‍රතික්ෂේප කළ බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.එයට හේතුව ලෙස දක්වා තිබුණේ ඇගේ රත්තරන් බඩු වගයක් උකස් කර ඇති බවත් ඒවා සින්න වීමට යන නිසා ඒවා බේරා ගැනීමට අවශ්‍ය මුදල් උපයාගෙන මිස යළි ගමට නොයෙන බවත්ය.

මතු පිටින් බැලූ කළ මෙය සාමාන්‍ය සිද්ධියක් ලෙස පෙනුණද මෙහි අභ්‍යන්තරයේ ඇති ඛේදවාචකය සුළු පටු නොවන බව පෙනේ. ඉන් පළමු වැන්න අපේ රටේ වැදි ජනයා පත්ව ඇති තත්ත්වයයි. වැදි තරුණියක ගාමන්ට් එකක වැඩ කරන බව අපට අසන්නට ලැබුණේ බොහෝ දුරට පළමුවරටය.අනෙක ඇය සාමාන්‍ය කෙනෙකුත් නොවේ. වැදි නායකයාගේ එකම දියණියය.


වැදි ජනතාව ඔවුන්ගේ සාම්ප‍්‍රදායික ජීවන රටාවෙන් කොතරම් දුරස් වී ඇත්ද යන්නට මෙය කදිම සාක්ෂියකි. කැලෑවේ ගහක පිපෙන මලකින් මොනර පිහාටු වැනි සත්ව කොටසකින් සිරුර හැඩ කරගත් වැදි තරුණියන් අද හොයන්නේ රත්තරන්ය. එක් අතකින් එය,ඇය වැදි තරුණියක වුවද සාමාන්‍ය ගැහැණියක රත්තරන් වලට දක්වන ආසාව ඇයටත් ඇතිවීමය. එය වැරදි යැයි අපට කිව නොහැකිය. වැදි නායකයාගේ දියණිය පොලිසියට කියා ඇති රත්තරන් බඩු බේරා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගෙන මිස ගමට නොයන කතාවෙන්ද ඇගේ අහිංසක ආසාව හොදින් පේන්න තිබේ.එහෙත් පොලිසිය එහිදී සොයා බැලිය යුතුව තිබූ කාරණා තිහිපයක් තිබිණි. පොලිසිය ඒවා සොයා බැලූවාදැයි මම නොදනිමි. එහෙත් ඒවා සෙවිය යුතු ඒවාය. එනම් වැදි නායකයාගේ දියණිය සේවය කළ ඇගලූම් කම්හලේ කළමනාකාරීත්වය ඇය ගැන දැන සිටියාද යන්නය. තමන් යටතේ සේවය කරන මේ තරුණිය වැදි නායකයාගේ දියණිය බව ඔවුන් දැන සිටියාද යන්නය. එසේ දැන නොසිටියා නම් ඇගේ කතා බහෙන් ඈ පිළිබද වෙනසක් තේරුම් ගැනීමට හැකිය.මන්ද ඇගේ කතා විලාසය සාමාන්‍ය තරුණියකගෙන් බොහෝ දුරට වෙනස් විය යුතුය.

ඇය පිළියන්දල පැමිණ නවාතැන් ගෙන සිටි තැන් ගැනද එසේ පැමිණි ආකාරයද සොයා බැලිය යුතුමය.මා එසේ කියන්නේ හේතු කාරණා ඇතිවය. මම කලක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළෙමි. නම, උප්පැන්න හා වයස ආදිය වෙනස් කර තරුණියන් පිටරට යවන ජාවාරම් ගැන එවිට මට හොද අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.මේ හොර ජාවාරම්කාරයන්ට වැදි තරුණ තරුණියන්ද අසු වී ඇත්දැයි සොයා බැලිය යුතුය.

එය එසේ නම් ලංකාවේ වැදි පරපුර නැති කිරීමේ එක් පියවරක් ලෙස සැලකිය යුතුය.එවන් අනතුරක් ඇත්නම් අපේ රටේ උරුමයක් ලෙස සලකා වැදි ජනයා රැක ගැනීමේ කටයුතු සම්පාදනය කළ යුතුය.

පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණේ වැදි නායක ඌරු වරිගේ වන්නිලඇත්තන්ට කැබ් රථයක් ලබා දීමට යන බවකි. එහෙත් තවමත් එය ලබාදී නැත. මගේ අදහස නම් වැදි ජනයාගේ පැවැත්ම තහවුරු කරන්නට ඔවුන්ට කැබ් රථයක් දෙනවාට වඩා තවත් කරන්නට බොහෝ වැඩ තිබේ.වැදි නායකයා කියූ දෙයක් පසුගිය කාලයේ මට අසන්නට ලැබිණි.එහි සරල සිංහල අදහස මෙයය.

'ආදිවාසී දිනය කියන්නේ ඉතා වැදගත් එකක්. එදාට අපි සන්තෝෂ වෙනවා.අපි ලොක්කන්ටත් ආරාධනා කරනවා. ඔවුන් ඇවිත් අපිත් එක්ක විනෝද වෙනවා. මේ උත්සවයේදී ලක්ෂ හතරක බුලත් පුවක් දෙන්න ඔවුන් අපට පොරොන්දු වුණා. බුලත් පුවක් අපට අවශ්‍යයි. අපි ඒවා ගන්නේ සල්ලි දීලා. ඒත් අද වනතුරු අපට බුලත් පුවක් ලැබුණේ නෑ. වෙන කණ්ඩායමක් ඒවගෙන් ප‍්‍රයෝජන ගත් බව මට දැනගන්නට ලැබුණා.' මේ වැදි ජනයාට තිබෙන ප‍්‍රශ්නය. ඔවුන්ට මෙවැනි බොහෝ ප‍්‍රශ්න තවත් ඇත. කැබ් රථයක් දුන්නාට එවන් ප‍්‍රශ්න විසදෙන්නේ නැත.

- එල්මෝ ගුණරත්න

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment