මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ සිට කොළඹ ජනාධිපති මන්දිරය දක්වා ගමන් කරමින් සිටින ගව ඝාතන විරෝධී පා ගමනට ලක් වාසී සැමගෙන් සහයෝගය ලබාදෙන ලෙස හෙළ යුගය ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.
එම ඉල්ලීම සහිතව එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
කළගුණ දන්නෝ ගව ඝාතන විරෝධී මතයට පැමිණෙත්වා!
ගවයා වනාහී පුරාතනයේ සිටම හෙළයේ සශ්‍රීකත්වය උදෙසා ප්‍රයෝජනයට ගත් සත්වයෙකි. හෙළ දීපයේ කෙත් වතු අස්වැද්දීම උදෙසා ගවයාගෙන් සිදුවුණු මෙහෙවර මෙතෙකැයි කියා නිමකළ නොහැකිය. අතීතයේ පටන් අද දක්වාම මිනිසාට සමීපව, මිනිසා වෙනුවෙන්ම යෝධ මෙහෙවරක නිරතවන ගවයා, සම්පතක් වශයෙන් සැළකුවේ ඒ නිසාය. පස් ගෝ රසින් මිනිස් ප්‍රජාව ශක්තිමත් කළ ගවයාගේ කාය බලය යොදවාගනු ලැබූයේ කෙත්වතු සරුසාර කරගැනීමටය.
මව්කිරිවලින් පසුව බහුතර සමාජයක් එළකිරිවලින්, නිර්ලෝභීව පෝෂණය කළේ ද ගවයා ය. මිනිසා වෙනුවෙන්ම මේ සා සුවිසල් මෙහෙවරක, සැබැවින්ම සමස්ත දිවියම මිනිසා වෙනුවෙන් කැපකළ වෙනත් සත්වයෙකු මෙලොව කොතැනකවත් දැකගත නොහැකිය. එසේනම්, ජාතියේ කිරිමව ලෙසින් විරුදාවලී ලැබූ, මිනිස් ප්‍රජාවගේ කළගුණ දැක්වීමට පාත්රවිය යුතු, මේ උතුම් සත්වයා ඝාතනය කර මස් අනුභව කිරීම මනුෂ්‍යත්වයට තරම් නොවේ. මෙතැනදී පින් පව් වශයෙන් සලකා නොව, කළගුණ සලකා ගවයා මිනිසා අතින් ඝාතනය වීමෙන් බේරාගත යුතුය. ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කළ යුතුය. බුදු දහමින් පෝෂණය ලැබූ දීපයක, සදාචාර සම්පන්න ජාතියක් වශයෙන් ගවයාට කළගුණ දැක්වීමෙන්, සත්වයෙකුට පවා කළගුණ දැක්වූ ජාතියක් වශයෙන් ලෝකයටද පණිවිඩයක් ලබාදිය හැකිය. පුරාතනයේ සිට මෙරට පැවති සංස්කෘතික සාරධර්ම, සදාචාරාත්මක ක්‍රමවේදයන්, ජාතීන් අතර සංහිඳියාව, අධ්‍යාත්මික ගුණ වගාව පිළිබඳව නොදන්නා මිනිසුන් වහා ඒ ගැන දැනුවත් වියයුතුය. ඒ දැනුවත්වීම තුළින් කළගුණ දැක්වීම යන්න කුමක්දැයි නිවැරදිව අවබෝධ කරගත හැකිවනු ඇත. ගව ඝාතනය නැවැත්වීමට ආගමික ආභාෂයක් අවශ්‍ය නැත. කළගුණ සැලකීම යන යහපත් ගුණාංගය පමණක් දැන සිටීම ප්‍රමාණවත් නොවේදැයි සිතා බලන්න.ගව ඝාතනය මෙරට තුළ තහනම් කිරීම වෙනුවෙන් වර්තමානයේ සමාජය තුළ උද්යෝගයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ. පුවත් වාර්තාකරණයේදීත්, සමාජ ක්‍රියාකාරකම් වලදීත්, ගව ඝාතන ටෙන්ඩර් නවතා දැමීමෙනුත්, ප්‍රාදේශීය මට්ටමින් ගව ඝාතනය තහනම් කිරීම වැනි ඉදිරිගාමී යහපත් සමාජ සිද්ධි තුළින් ද ගව ඝාතනයට එරෙහිව දැන් දැන් සමාජ මතයක් ගොඩනැගෙන බව නොරහසකි. ගව ඝාතනය මෙරටින් තුරන්වේවායි පතමින් ජීවිත පූජාවේ නියැළුණු පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේගේ එම අරමුණ ඉදිරියට ගෙනඑමින්, සිංහල රාවය සංවිධානය ආරම්භ කළ දෙවැනි පා ගමන මේ දිනවල මහනුවර සිට කොළඹට දියත්වී තිබේ. ගව ඝාතනය ශී‍්‍ර ලංකාව තුළ නීත්‍යානුකූලව තහනම් කිරීමට බල කරමින් ගමන් ගන්නා මෙම පා ගමනට, එළකිරෙන් හෝ පිටිකිරිවලින් එක් වරක් හෝ පෝෂණය ලැබූ, කළගුණ දන්නා ශිෂ්ට සම්පන්න ජනතාවගේ ආශිර්වාදය සහ සහයෝගය ලැබිය යුතු බව හෙළ යුගය ජාතික සංවිධානය මෙරට ජනතාවට ගරුසරු පෙරටුව සිහිපත් කර සිටී.
චාරුක කුමාරපේලි
හෙළ යුගය ජාතික සංවිධානය
Put the internet to work for you.
Recommended for you |
Post a Comment