නිල්ගල රක්ෂිතයේ ගස් මහණ කල අයුරු !

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතා වැදගත් පරිසර පද්ධතියක්‌ සහ මෙරටට අනන්‍ය ජෛව කලාපයක්‌ ලෙස හඳුනාගත හැකි ඌව පතන බිම්වලින් ගහන නිල්ගල ඖෂධීය වනාන්තරයේ අක්‌කර දහසක්‌ පමණ විජිත් විජිතමුණි සොයිසාගේ දේශපාලන හිතවත්කම්වලින් සන්නද්ධ ව අවස්‌ථාවාදී පිරිස්‌ විසින් අත්පත් කරගනු ලබමින් තිබීම නිසා පසුගිය කාලයේ  අතිශය විනාශකාරී පරිසර හානියක්‌ සිදු වෙමින් පැවතුනි.

මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ මැදගම හා බිබිල ප්‍රදේශීය ලේකම් කොට්‌ඨාශවලට අයත් කොටබෝව, බැඳියාව, කළුගහවාඩිය යන ග්‍රාමසේවා වසම්වල මේ වනාන්තර විනාශය දිනපතා ම දිවා රාත්‍රි දෙකෙහි ම සිදු වෙමින් පවතිද්දී ඇතැම් බලධාරීන් රුපියල් දහසේ සිට පන් දහස දක්‌වා අල්ලස්‌ මුදල්වලට යට වී ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. 

බිබිල, මැදගම, 8 කණුව, 3 කණුව, කොටබෝව, ඇල්ලේකෝන, දහගෝනිය හා දඹගල්ල ආදී ප්‍රදේශවල සිට පැමිණෙන විනාශකාරීහු දිනපතා ම මේ වනාන්තර අත්පත් කරගැනීමේ ක්‍රියාවේ යෙදී සිට ඇත. 

අධික සාන්ද්‍රණයෙන් යුත් වල්නාශක යොදා වනාන්තරයේ යටි වගාව විනාශ කර එහි ඇති අරළු, බුළු, නෙල්ලි ආදි දැව ශාක කපා ඉවත් කරගෙන ඉඩම් අත්පත් කර ගැනීමද මෙහි සිදුවේ. 

විජිතමුණි සොයිසාගේ දැව සංහාරය 
ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වනජීවී සම්පත් සංරක්‌ෂණ අමාත්‍යවරයා ගේ සංකල්පයකට අනුව "පාරම්පරික හේන් ගොවියන් සඳහා සහන සැලසීමේ වැඩසටහන" නමින් සිදු කිරීමට යන ව්‍යාපෘතියකට පූර්වගාමී ව මේ මහා පරිමාණ වන සංහාරය ආරම්භ කර ඇත. 

පාරම්පරික හේන් ගොවීන් සහ පාරම්පරික හේන් වගාබිම් හඳුනාගෙන ගොවියාට හේන් බිමක්‌ ලබා දීමත්, එකී හේන්බිම ස්‌ථිර ආදායම් උත්පාදන මාර්ගයක්‌ බවට පත් කිරීමත් සඳහා වනජීවී සම්පත් සංරක්‌ෂණ අමාත්‍යවරයා විසින් උක්‌ත වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව හුවා දක්‌වනු ලැබේ. 

නමුත් මේ සංවිධානාත්මක ව්‍යාපෘතියේ සැබෑ අරමුණු පාරම්පරික හේන් ගොවියාට සහන සැලැසීම නොව එය දඩමීමා කරගෙන දේශපාලන හෙන්චයියන්ට වනාන්තර ඉඩම් කොල්ලකෑමට ඉඩ සැලැස්‌වීම බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන කරුණකි.

විජිතමුණිසොයිසා ඇමතිවරයා විසින් එම වැඩසටහන පිලිබඳ පැවැත්වූ එක් රැස්වීමකින් අනතුරුව වහා සක්‍රීය වූ මැදගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද ඇතුළු දේශපාලන ගෝලබාලයෝ ඌව පතන් බිම් වනාන්තර දර්ශය සහිත නිල්ගල වන රක්‌ෂිතයේ ඉඩම් මේ ආකාරයෙන් වැනසීමට පටන්ගෙන ඇත. 

එසේ වනාන්තර අත්පත් කරගෙන එහි වන වැස්‌ම ඉවත් කර ඉතා කඩිමුඩියේ විවිධ භෝග වර්ග වගා කර එම ඉඩම් කලක සිට තමන් විසින් වගා කටයුතු සිදු කරන ලද හේන් ඉඩම් ලෙස හුවා දැක්‌වීමට ඔවුන් කටයුතුකොට තිබුණි. 

එහි තවත් පියවරක්‌ ලෙස මෙසේ අත්පත් කරගනු ලැබූ ඉඩම්වල කම්බි වැටවල් ගසා රබර් පැළ සිටුවීමට ද ඇතැම් පිරිස්‌ කටයුතු කර තිබුණි. තව ද මේ ප්‍රදේශවලින් කපා ඉවත් කරගනු ලබන දැව ශාක ප්‍රදේශයේ මුස්‌ලිම් ව්‍යාපාරිකයකු ගේ ද මැදිහත් වීමෙන් රාත්‍රී කාලවල දී හොර රහසේ ඉරුම්හල් වෙත රැගෙන යැමද සිදු කෙරේ. එය ගොනුන් ලවා දැව කොටස්‌ ඇදගෙන යැමේ සිට ට්‍රැක්‌ටර් රථවල පටවාගෙන යැම දක්‌වා විවිධ පරිමාණයන් ගෙන් සිදුවන්නකි. 




විජිතමුණි ගේ දේශපාලන හෙන්චයියන් විසින් අක්කර පන්දහසක් වූ එම භුමියේ ඉඩම් අක්කරයක් විකුණා තිබුනේ රුපියල් දස දහස බැගිනි. මේ වනාන්තර විනාශයට සමගාමීව ප්‍රදේශයේ වන සතුන් දඩයම ද උග්‍ර අතට හැරී ඇත. විශේෂයෙන් ගෝනා, මුවා, ඉත්තෑවා, දඬුලේනා වැනි ක්‌ෂීරපායින් මේ වන අපරාධකරුවන් ගේ පහසු දඩයම් ඉලක්‌ක බවට පත් වී ඇත. 

නිල්ගල ඓතිහාසික වටිනාකම 
පුරාණ රජ දවස ලංකාවේ රජ කළ ඉතා විශිෂ්ට ගණයේ වෛද්‍යවරයකු වූ බුද්ධදාස රජතුමාගේ ඔසු උයන වශයෙන් මෙය පැවැති බවට මතයක් ද පවතී. 

එමෙන් රාවණා රජ්ජුරුවන්ට ලංකාවට පැමිණි අවදියේ ඔහුට අවශ්‍ය කිසියම් ඖෂධයක් හිමාල අඩවියෙන් රැගෙන ඒමට හනුමන්තාව පිටත් කළ බවත් අතර මඟදී හනුමන්තාට බෙහෙත් පැළෑටියේ නම අමතක වී හිමාල අඩවියේ තිබූ සියලු බෙහෙත් පැළෑටි උදුරාගෙන ආ බවත්, ඒ එන ගමනේ දී තැන් තැන්වල වැටුණු බෙහෙත් පැළෑටි පැළ වූ තැන් පසුව ඖෂධ පිරි වන උයන් වූ බවටත් මතයක් තිබේ.නිල්ගල ඔසු උයනද එයින් එක් ස්ථානයක් ලෙස විශ්වාස කෙරේ. 

පාරිසරික වටිනාකම  
මේ කලාපයට පමණක්‌ ආවේණික Lacertidae කුලයට අයත් පඳුරු කටුස්‌සන් විශේෂ දෙකක්‌ මේ සැවානා තෘණ භූමිවල වාර්තා වෙයි. Ophisops leschenaultii lankae හා Ophisops minor minor එම පඳුරු කටුස්‌සන් විශේෂ දෙක ය. 

2007 වසරේ දී ප්‍රකට උරග හා උභයජීව විද්‍යාඥයකු වන මෙන්ඩිස්‌ වික්‍රමසිංහ මහතා විසින් විද්‍යාත්මකව අනාවරණය කරන ලද Nannophrys naeyakei නම් ගල්පර මැඬියන් විශේෂයේ එක ම වාසභූමිය ද මේ නිල්ගල ඌව පතන් බිම්වලට අයත් සැවානා වනාන්තරයයි. 

2007 වසරේ IUCN රතු දත්ත වාර්තාවට අනුව දැඩි ලෙස වඳ වී යැමේ තර්ජනයට පාත්‍ර වූ (Critically Endangered) පඳුරු වටුවා (Perdicula asiatica ceylonensis), පතන් කුකුළා (Francolinus pictus watsoni) හා කහ පාද බටගොයා (Treron phoenicopterus phillipsi) ගේ එක ම වාසභූමිය ද මේ වනාන්තර කලාපය ය. 

මෙරට සීමිත පැතිරිමක්‌ සහිත ළා කොළ කෑරලා ද (Picus xanthopygaeus) මේ ප්‍රදේශයෙන් නිරීක්‌ෂණය කර ඇත.

Calodactylodes illingworthorum හා Hemidactylus hunae ශ්‍රී ලංකාවට ආවේණික හූනන් විශේෂ දෙක ද විශේෂයෙන් වාර්තා වූ ප්‍රදේශයක්‌ ලෙස නිල්ගල ආශ්‍රිත ඌව පතන් බිම් හඳුනාගෙන ඇත. 

ලංකාවට ආවේණික කුඩුම්බේරිය ශාකය මත යෑපෙන Barronet නම් සමනළ විශේෂය ද (Euthalia nais)) හඳුනාගෙන ඇත්තේ නිල්ගල වනාන්තරයෙන් වන අතර මේ සමනළයා ගේ සිංහල නම නිල්ගල සමනළයා ලෙස යොදාගැනීම ද මෙහි අනන්‍යතාව කදිමට විදහාපායි. 

මේ වනාන්තරය හා ඊට ආසන්න ගල්ඔය ජාතික වනෝද්‍යානය ද වන අලින් ගේ ප්‍රකට වාස භූමියකි. ගල්ඔය ජාතික උද්‍යානයේ දිවි ගෙවන අලි ඇතුන් රංචු වසරේ එක්‌ කාලයකට මේ ප්‍රදේශයට සංක්‍රමණය වීමට අමතරව නේවාසික වන අලි ගහනයකට ද නිල්ගල වනපෙත වාසභූමි සපයයි. 

වන විනාශයට පිලියමක් ලෙස ගස් මහන කිරීම 

ගස් මහන කිරීම පිලිබඳ මෙයට පෙර ඔබ අසා තිබේද? ගස් මහණ කිරීම තායිලන්තයේ සිටින භික්ෂුන් වහන්සේලා විසින් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ සිදුකරගෙන ආ චාරිත්‍රයකි. 

ගසක් මහන කිරීම ශ්‍රී ලංකාවේදී මුල්ම වතාවට සිදුව ඇත්තේ 1977 දීය. ඒ බදුරලිය - කුකුලේගම මාර්ගය ඉදිකිරීමේදී කැපීමට නියමිතව තිබු අඩි 200 ක් පමණ උස "දුන්" ගස මහණ කිරිමෙනි. 

දෙවවන වරට මහණ කල ගස වන්නේ 2008 වසරේ බදුල්ල නගර මධ්‍යයේ ඇති රත් හඳුන් ගසයි. නිල්ගල වනාන්තරයේ සිදුවන වන විනාශයට වගකිවයුතු බලධාරීන් විසින් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ගම්වැසියන්ගේ ආරාධනයෙන් පුජ්‍ය බදුල්ලගම්මන සුමනසාර හිමි හා කළුපහන පියරතන හිමිවරුන් විසින් නිල්ගල වනාන්තරයේ ඇති වෘක්ෂයන්ද ඊයේ දිනයේ (11) මහණ කොට ඇත. 

ගස් මහණ කල අවස්ථාවේ කතාවක් පැවැත්වූ එයට මුලික වූ බංගලාදේශයේ  හිමි නමක් කියා සිටියේ මෙවැන්නකි 

"භික්ෂුන් වහන්සේලාට යම්කිසි ගෞරවයක් දක්වනවානම් මේ ගිහි ජනතාව ඒ හා සමාන ගෞරවයකින් මේ ගස් ආරක්ෂා කරන්න ඕන..මේ දායකයන්ට බාරයි මේ භික්ෂුන් වහන්සේලා..
මේ දායකයෝ සිව්පසේ භික්ෂුන් වහන්සේලාට ඇප උපස්ථාන කරනවා වගේම මේ ගස්වලට එන කරදර හිරිහැර වලින් මේ ගස් ආරක්ෂා කරගන්න ඕන.. "

(තොරතුරු මුලාශ්‍ර : සුපුන් ලහිරු ලිපියක් ඇසුරිනි )

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment