මෝටර් රථයක් ටිපර් රථයක ගැටී 3ක් එතනමයි

කුරුණෑගල - පුත්තලම ප්‍රධාන මාර්ගයේ ගෝනගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වි තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද(16) උදෑසන මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.


කුරුණෑගල පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.



ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම රටවල තත්ත්වයට පත්වෙලා

සංවර්ධන දර්ශකවලින් ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම රටවල තත්ත්වයට පත්ව ඇති බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ඉන්දීය ආර්ථික සමුළුව යටතේ පැවති සංවාදාත්මක සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ උපත් අනුපාතිකය, මාතෘ මරණ අනුපාතිකය සහ ආයුකාල අපේක්ෂාව අතින් ශ්‍රී ලංකාව ලොව දියුණු රටවල තත්ත්වයට සමාන අගයන් ගන්නා බවයි.


ඉන්දියා ටුඩේ කර්තෘ මණ්ඩල උපදේශක ශිකර් ගුප්තා විසින් මෙහෙය වු මෙම සංවාදය සඳහා සංජිව් මෙහෙතා. ආදි ගොඩ්රිජ් යන ව්‍යාපාරිකයින් දෙදෙනා , සිනමා නිලි කාජල් දේව්ගන් සහ ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් සහභාගී වුණි.


සනීපාරක්ෂාව සහ පිරිසිදු ඉන්දියාවක් ගොඩනැගීම පිළිබඳ සිදුකළ අදහස් හුවමාරුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය අමුණුගම මහතා ප්‍රකාශ කළේ වසර 2015දී සහශ්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව අපේකෂා කරන බවයි.


නිදහසට පෙර යුගයේ සිටම ග්‍රාමීය සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ක්‍රමවේදයක් පැවති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


ශ්‍රී ලංකාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිගෙන ඇති අතර අධ්‍යාපනය සහ රාජ්‍ය සේවය තුළින් එය පිළිබිඹු වන බව අමාත්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.


දේශපාලනික මැදිහත්වීම් මත දුප්පත්කම නැති කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා දැනුම, ආකල්ප සහ ක්‍රියාකාරකම් ඒ සඳහා යොදාගන්නා බව ප්‍රකාශ කළේය.


කලාපයේ අවම ජනගහන වර්ධන වේගයක් ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබේ.


විවාහ ප්‍රමාද වීම් ඊට ප්‍රධාන හේතුවක් වි ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.



රිය අනතුරු වලින් 5ක් මරුට

ගත වු පැය විසි හතර තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු අනතුරු වලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

අහුංගල්ල කොටවත්ත පාරට හැරෙන මංසන්දියේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් 26 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.


මියගිය පුද්ගලයා වැලිකන්ද අහුංගල්ල ප්‍ර දේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.


කළුතර සිට බණ්ඩාරගම දෙසට ධාවනය වු ටිපර් රථයක් දෙල්දූව ගලවල හංදිය අසළ දි එම දිශාවටම ධාවනය වු පාපැදියක ගැටීමෙන් 71ක් හැවිරිදි පාපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.


මේ අතර පානදුර කිරිවේරිය මාර්ගයේ ගල්පොත්ත පාර ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි 77 හැවිරිදි කාන්තාවක යතුරුපැදියක ගැටීමෙන් මියගොස් තිබේ.


පුත්තලම ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලා සේවකයෙකු දුම්රියක ගැටීමෙන් මියගොස් තිබේ.


මියගිය පුද්ගලයා ආනමඩුව මහඋස්සාව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි අයෙකු බව වාර්තා වෙයි.


කුරුණෑගල පුත්තලම මාර්ගයේ සාරගම වැව අසළ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් එහි රියදුරු මියගොස් තිබේ.


මියගිය පුද්ගලයා කොළඹ පාර බෝයගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකු බව කුරුණෑගල පොලීසිය සඳහන් කළේය.



ගාල්ලේ සිසුවෙක් අතුරුදහන්

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ 19 හැවිරිදි ශිෂයෙකු පසුගිය 13 වැනිදා සිට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

සිය නිවසේ සිටි අදාළ සිසුවා 13 වැනිදා අලුයම සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ පියා අද දෙරණට ප්‍රකාශ කළේය.


ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා යම් ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් එම ශිෂ්‍යයා මානසික ව්‍යාකූලතාවයෙන් පසු වු බවට ද වාර්තා වෙයි.


වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.



වගා ළිඳක අභිරහස් මළ සිරුරක්

කුලියාපිටිය, ඇපලදෙණිය ප්‍රදේශයේ වගා ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසීන් විසින් කුලියාපිටිය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි.


මෙලෙස මියගොස් ඇත්තේ ඇපලදෙණිය ප්‍ර දේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි අයෙකි.


මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කුලියාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර කුලියාපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



ඕනෑම අභියෝගයකට සුදානම්

බලයට පත්වු දා සිට රටත්,ජාතියත් නඟා සිටුවීමට කටයුතු කළ තමන් ඕනෑම අභියෝගයකට සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ සිදුවන සංවර්ධනය ආපසු හැරවීමට ජනතාව කිසිදා ඉඩ නොතබන බවත් ජනතා ආශිර්වාදයෙන් රට ගොඩනඟන වැඩ පිළිවෙළ ඉදිරියටම ගෙන යන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


උතුරු අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.


වත්මන් රජය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත්තේ ජනතාවගේ අදහස් හඳුනාගනිමින් බව ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දි ඇත.


රටට වැඩක් කළ නොහැකි ඇතැමුන් ජාත්‍යන්තරය තුළ වැරදි ප්‍රතිරූපයක් ගොඩනඟමින් සිටින අතර ඔවුන් රට තුළ ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරන බව ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කර තිබේ.



මාලිගාතැන්න නායයෑමේ අවදානමක්

බණ්ඩාරවෙල, මාලිගාතැන්න ප්‍රදේශය මේ වන විට නයයෑමේ අවදානමක් මතුවී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම ප්‍ර දේශයේ පවුල් 7ක් මේ වන විටත් ඉවත් කර ඇති බවත්, අදාළ පවුල්වල පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියේය.