පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මේවන විට විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විපක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව අප වාර්තාකරු කියයි.

සංශෝධන ගැන වියවුල් ලිහන්න හදිසි කමිටුවක්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධන සම්මත කර ගැනීමට අදාළ ව්‍යකූල තැන් සමහන් කරගනු  පිණිස විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ එජාපය නියෝජනය කරමින් නි.විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා,නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් යන අය පත්කර ඇත.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා,රජීව් විජේසිංහ,ෆයිසර් මුස්තාපා යන අය පත්කර ඇතැයි දැනගන්නට ලැබේ.

ඒ අනුව මෙම දෙපාර්ශවය හැකි ඉක්මනින් මෙම සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවකට පැමි‍ණිය යුතුව තිබේ.

කෙසේ වෙතත් අද දහවල් පැවති එජනිස මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රීලනිපය විසින් ගෙන ආ සංශෝධන සම්ම්ත කර ගැනීමටත්,එජාපය විිසින් ගෙන එන ලද සංශෝධන වලට එරෙහිව ඡන්දය භාවිතා කිරීමටත් ඇතැම් මන්ත්‍රීවරුන් විසින් යෝජනා කර තිබීමද මෙම ව්‍යාකූල තත්ත්වයට හේතුවී ඇත.

විශේෂයෙන්ම ජාතික විද්වත් සභාවට ව්‍යවස්ථාදායක සභාවෙන් පිට අග්‍රාමාත්‍යවරයා විසින්  විද්වතුන් පත්කිරීමට විධිවිධාන ඇතුළත් කිරීම වෙනුවට පාර්ලිමේන්තුව තුළින්ම නියෝජිතයින් නම් කිරීමට විධිවිධාන ඇතුළත් කිරීමද වඩා සුදුසු යයි ශ්‍රීලනිප පාර්ශවය විසින් ගෙන එන ලද සංශෝධනවල ඇතුළත්ය.

‍මූල්‍ය අපරාධ විමර්ශන පොලිසිය ගැන ජනපතිත් දැනගෙන ඉඳලා නෑ?

"පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය"නමින් ඉකුත් පෙබරවාරි මස 13 වන දින නිකුත් කරන ලද විශේෂ  ගැසට් නිවේදනයක් මගින් පොලිස් ඒකකක් පිහිටුවීම තමා නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා තිබේ.

අද (28) 12.30 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු එජනිස කණ්ඩායම් නායක රැස්වීමේදී මේ බැව් අනාවරණය වී ති‍බේ.

 අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන ලද අනුකාරක සභාවක තීරණයකින් මෙම පොලිස් ඒකකය ක්‍රියාවට නංවා ඇති බවත්,එමගින් අග්‍රාමාත්‍යවරයා දේශපාලන කටයුත්තක් ලෙස එය අවභාවිතා කිරීමේ සැකයක් මතුවන බවත් එජනිස මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව එය අලුත් පොලිස් නීතියක් බවට පත්ව ඇති බැවින් මුළුමනින්ම අහෝසි කරන ලෙස මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා අද දෙරණට කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ තමන් එකී ගැසට් නිවේදනය පිළිබඳ යමක් නොදන්නා නමුත් ඒ සම්බන්ධයෙන් තමාගේ පුද්ගලික අවධානය යොමුකරන බවයි.

එසේම මේවනතුරු එම විශේෂ පොලිස් ඒකකය මගින් බරපතළ සිදුවීම් පිළිබඳ ගැටළු මතුනොවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදී ඇතත්,තමා මින්මතු ඒ පිළිබඳ පුද්ගලික අවධානය අනිවාර්යෙන්ම යොමුකරන බවද සඳහන් කර තිබේ.

නේපාලයේ විපතට පත් ජනයාට ඔබේ දායකත්වය දෙන්නේ මෙහෙමයි

භූ කම්පනයෙන් විපතට පත් නේපාල ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය  පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බාරදිය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

විපතට පත් ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය වන   ද්‍රව්‍යය නේපාල රජය විසින් දැනුම්දී ඇති බව එම කාර්යාලය කියයි.

 ඒ අනුව කූඩාරම්, මෙට්ට, පානීය ජලය, ජලය පිරිසිඳු කිරීමේ උපකරණ, සනීපාරක්ෂක කට්ටල හා භාණ්ඩ මෙන්ම එළිමහන් කඳවුරු සඳහා අවශ්‍ය උපකරණ අත්‍යවශ්‍යව පවතින බව නේපාල රජය විසින් දැනුම් දී ඇත.

පරිත්‍යාග කිරීමට කැමති සංවිධාන හා පුද්ගලයින් ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ඒවා බාරදිය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා ද  මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බව එම කාර්යාලය වැඩිදුරටත් පැවසුවේය.

අක්මීමන දයාරතන හිමි ඇතුළු 17ට ඇප

කූරගල පුරාවිද්‍යා භූමියට නීති විරෝධීව ඇතුළුවීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ සිහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 6 නමක් සහ පුද්ගලයින් 17 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අධිකරණය විසින් ලබාදී තිබූ වාරණ නියෝගයක් නොසලකමින් පසුගිය 04 වන දින අදාළ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කූරගල පුරාවිද්‍යා භූමියට ඇතුළුවීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් බලංගොඩ පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

අදාළ පිරිසට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව රුපියල් දෙලක්ෂ 50,000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

සිද්ධියට අදාළ  නඩුව සැප්තැම්බර් මස 29 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.

බැසිල් මාස 3ක් නිවාඩුයි


හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මාස 3ක නිඩාවු කාලයක් ලබාදී තිබේ.

අදාළ යෝජනාව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති අතර ඊට සභාවේ කිසිදු විරෝධයක් එල්ලනොවූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රශ්න කිරී‍මෙන් පසු අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතත් බන්ධනාගාර රෝහලේ සිට ජාතික රෝහලට මාරුකර එවා ඇත.

මීට ඉහතදීද මාස 3ක කාලයකට නිවාඩු අනුමත කරවාගෙන තිබුණු බැසිල් රාජපක්ෂ මහතාට යළි මාස 3ට නිවාඩු අනුමත වූයේ දෙවෙනි වරටය.

එසේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විවාදයේ දෙවන දිනය වන බැවින් එකී විවාදය මේවන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02දා එයි


අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඉකුත් පාලන සමයේ අමෙරිකාව-ශ්‍රීලංකාව අතර දුර්වලව පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගනු පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බැව් සඳහන්ය.

එසේම මෙම සංචාරයේදී ඉකුත් මැතිවරණය සාර්ථකව පැවැත්වීම හා බලහුවමාරුව සිදුවීම කෙරෙහිද කෙරීගේ අවධානයට ලක්වනු ඇතැයි රොයිටර් පුවත් සේවය උපුටා දක්වයි.

එපමණ් නොව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව , එනම් විශේෂයෙන් පැවති යුදමය වාතාවරණය තුළ සිදුවූ අකටයුතුකම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි කියැවෙයි.

ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ජෝන් කෙරී මැයි මස 05 වන දින ඩිබූටි ජනරජය බලා ගොස් එහි නායකයින් හමුවී යෙමනයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හා ගැටුම් සමනය කිරීමෙහිලා ලබාදිය හැකි සහය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

නේපාලයට තවත් කණ්ඩායමක් පිටත්වීමට සුදානම්!

භූමිකම්පාවෙන් පීඩාවට පත්ව සිටින නේපාල වැසියන්ගේ සහන සේවා කටයුතු සඳහා   තවත් කණ්ඩායම් කිහිපයක්   එරටට යැවීමට සැලසුම් කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අදාළ කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ නේපාලය බලා  පිටත්ව යාමට නියමිත බවයි.
 
 භූමිකම්පාවෙන්  පීඩාවට පත්ව සිටින නේපාල වැසියන් සඳහා මෙරට පළමු සහන සේවා කණ්ඩායම පසුගිය ඉරිදා දින මෙරටින් පිටත්ව ගියේය.

ඔවුන් මේ වන විටත් අදාළ සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බව  අදාළ සහන සේවා  කණ්ඩායමේ නායක මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් මහතා සඳහන් කළේය.

 නේපාලයේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 60ක් ඈතින් පිහිටි දොලල්ගාඩ් නම් දුෂ්කර ගම්මානයේ කුඩාරම්වල රැඳී සිටිමින්   සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බව ඔහු පවසයි.

 මේ අතර නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට තානාපති කාර්යාලයේ රැඳී සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ එම පිරිස සහන සේවා කණ්ඩායම රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයෙන් මෙරටට  එවීමට පියවර ගන්නා බවයි.

අතුරුදන්වීම් වලට වැඩි වශයෙන් වගකිව යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි

යුද වාතාවරණයක් පැවති සමයේ උතුරේ සිදුවු අතුරුදන්වීම් වලට එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිව යුතු බවට  වැඩිදෙනෙකු ප්‍රකාශ කර ඇති බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.

 එහි සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට අදහස් පල කරමින් පෙන්වා දී ඇත්තේ සිය කොමිෂන් සභාවට සාක්ෂි ලබාදුන් ජනතාවගෙන් සියයට 60ක් එල්.ටි.ටි.ඊ. සංවිධානය අදාළ සිද්ධීන්වලට වගකිව යුතු බවට ප්‍රකාශ කර ඇති බවයි.

 එම ජනතාව අතුරෙන් සියයට 10ක් ප්‍රකාශ කර ඇත්තේ අතුරුදන්වීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් වගකිව යුතු බවටයි.

 එමෙන්ම තවත් සියයට 10ක පිරිසක් එල්.ටි.ටි.ඊ. නොවන සටන්කාමී සංවිධාන වෙත මේ පිළිබඳව චෝදනා එල්ල කර ඇති බව මැක්ස්වෙල් පරණගම මහතා පවසයි.

සාක්ෂි ලබාදුන් පිරිසෙන් සියයට පහක් පමණ චෝදනා කර ඇත්තේ  නාදුනන කණ්ඩායම් විසින් මෙම අතුරුදන්වීම් සිදුකර ඇති බවයි.

දිස්ත්‍රික් වශයෙන් සැලකීමේ දී කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් සාක්ෂි ලබාදුන් පිරිස අතුරෙන් සියයට 85ක් එල්.ටි.ටි.ඊ. සංවිධානය ඊට වගකිව යුතු බවට  ප්‍රකාශ කර ඇති බව  ඒ මහතා   සඳහන් කර ඇත.

 උතුරු නැගෙනහිර ප්‍ර දේශ ආශ්‍රිතව අතුරුදන්වීම් පිළිබඳව ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනවලදී සිවිල් පුද්ගලයින්ගෙන් පැමිණිලි 16,000ක් සහ ආරක්ෂක අංශවලින් පැමිණිලි 5600ක් ලැබී තිබේ.

උතුරේ ජල ගැටලුව විසඳන්න ජනපති උපදෙස් දෙයි

උතුරේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ(27)  පස්වරුවේ පවත්වා තිබේ.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙම සාකච්ඡාව පැවති බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 උතුරේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති මෙම පානීය ජල ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සියලු දෙනා ඉතා මානූෂීය අන්දමින් කටයුතු කළ යුතු බව  ජනාධිපතිවරයා මෙහිදි පවසා ඇත.

 මේ පිළිබඳව උතුරේ ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම උතුරේ ප්‍රධාන පරිසර ගැටලුවක් බවට පත්ව ඇති අනවසර වැලිගොඩ දැමීම් පිළිබඳව ද මෙහිදි ජනාධිපතිවරයා නිලධරීන්ගෙන් කරුණු විමසා ඇති බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

19 ඡන්ද විමසීම අදයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයව තිබේ.

 අද පස්වරු 6.00ට ඡන්ද විමසීම පැවැත්වෙන බව  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

 නව සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවාදය අද දිනයේ ද පැවැත්වීමට නියමිතය.

 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය බලාපොරොත්තු වන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර සිටියේය.

 මෙම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව  එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

 
කෙසේවෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ අද දහවල් සන්ධාන පක්ෂ නායකයින් රැස් වී ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට නියමිත බවයි.

 
එහෙත් වාමාංශික පක්ෂ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පල කරන බව  ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

තමන් ඇතුළු විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන වලට සහය නොලැබුණහොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට ඉඩලබා නොදෙන බව නව සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ අඩුපාඩු පැවතිය ද මෙම අවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සියලු දෙනා සහයෝගය ලබාදිය යුතු බවයි.

එසේම ජාතික නිදහස් පෙරමුණ ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව  වාර්තාවෙයි.

 එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේ අද  පෙරවරුවේ ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙන බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව ජාතික හෙළ උරුමය පවසනවා.

 එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සහයෝගය ලබාදිය යුතු බවයි.

හිටපු ජනපති ලේකම් ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,හිටපු සංචාරක මණ්ඩල සභාපති භාෂ්වර සේනාංක යන මහත්වරුන්ගෙන් මූල්‍ය අපරාධ  විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද (27) පෙ.ව 9.00 පමණ සිට මේ දක්වා ප්‍රශ්න කරමින් සිටින බව හෙතෙම අද දෙරණට සඳහන් කළේය.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකාවක වූ කාන්ති විජේතුංග මහත්මියගෙන්ද අද පෙරවරුවේ ප්‍රශ්න කෙරුණු බවත්, ඇය ප.ව 1.00 ට පමණ මුදාහළ බවත් ඔහු කියා සිටියේය.

කොටගල අනතුරකින් සිසුවියන් 2ට තුවාලයි

හැටන්, කොටගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් දැරියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අදාළ දැරියන් දෙදෙනා හැටන් සිට නුවරඑළිය දෙසට ධාවනය වු ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරෙන් බරපතළ තුවාළ ලැබූ එම දැරියන් දෙදෙනා කොටගල රෝහලට ඇතුළත් කර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දිඹුලපතන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

සෝභිත හිමියන්ගේ සත්‍යග්‍රහය අවසන්

19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් පොරොන්දුවක් අනූව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහය පළ කළ යුතු බව කියමින් සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගිහි පැවිදි පිරිසක් විසින් අද පෙරවරුවේ විරෝධතා පා ගමනක් ආරම්භ කරන ලදී.

බොරැල්ල කොටා ‍පාරේ එන්.එම් පෙරේරා මහතාගේ පිළිරුව අසළින් ඇරඹී එම විරෝධතා පා ගමන කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා පැමිණීමට සැලසුම් කර තිබිණ.

අනතුරුව එම ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර 19 වැනි සංශෝධනය ගැන ජනාධිපතිවරයා ලබාදුන් ‍පොරොන්දුවක් අනූව එය අවසන් කිරීමට සෝභිත හිමියන් තීරණය කර තිබේ.

19 ට අත උස්සා සිංහලයන්ට විරුද්ධ වෙන්න එපා


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදු දේශපාලනයකට ලඝු කළ නොහැකි බවත්,එය ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ කාරණයක් බවත් රාජකීය පණ්ඩිත,ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම යනු සිංහලයන්ට මරණ වරෙන්තුව නිකුත් කිරීමකට සමාන දෙයක් බව උනවහන්සේ කියා සිටියේ අද (27) ජාතික සංවිධාන එකමුතුව ලෙස පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභාවන්ට අදාළව තීරණ ගනු ලබන කමිටුවට ඇතුළත් වන 10 දෙනාගෙන් පස් දෙනෙකුම සුළු ජාතීන් නියෝජනය කරන බවත්,එහි සුළු ජාතීන්ට වැඩි තැනක් දී ඇති බවත් අභයතිස්ස හිමියන් අවධාරණය කළේය.

එය බහුතර සිංහල ජනයාගේ මූලික අයිතිවාසිකමක් කඩවීමක් බව උන්වහන්සේ ගේ අදහසයි.

එබැවින් සිංහලයන්ට එරෙහිව මෙම ව්‍යවස්ථා සංශෝධනයට අත ඔසවන්නේ නැතුව සි‍ටීමට මහජන නියෝජිතයින් වගබලාගත යුතුව ඇති බව අභයතිස්ස හිමි කියා සිටියි.

මෙම අවස්ථාවට එක්වුණු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ මෙම ව්‍යවස්ථා සංශෝධනය,ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ප්‍රතික්ෂේප වූ බවයි.

ඒ අනුව නැවත පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණු ව්‍යවස්ථා සංශෝධනයක් බවත්,එය සම්මත කිරීම නීති විරෝධී බවත් අමරසේකර මහතා පෙන්වාදෙයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අරගල කරන මාදුළුවාවේ සෝභිත හිමියන් ආදේශවී ඇති බවත්,ඔවුන්ගේ එකම අභිප්‍රාය වී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

ගම්පොල - මහනුවර දුම්රිය මාර්ගයේ 73 සැතපුම් කණුව අසළ දී දුම්රියක ගැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

කාන්තාව දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටියදී මහනුවර සිට නානුඔය දෙසට ගමන් කළ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව ගම්පොළ රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.
 
මියගොස් ඇත්තේ 31 හැවිරිදි බ්‍රේසයිඩ් ජනපදය, හැරලකොළ ප්‍රදේශයේ  පදිංචිව සිටි කාන්තාවකි.

මෘතශරීරය ගම්පොළ රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදු කිරීමට නියමිතය.

 ගම්පොළ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

නේපාල ඛේදවාචකයෙන් මළ ගණන 3200 ඉක්මවයි

නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 3200ක් පමණ මියගොස් ඇති අතර 6500ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පෙරේදා දිනයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ රිකටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුවු අතර පසුව ඊයේ දිනයේ 6.7 ක තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුවුණි.

භූ කම්පනය හේතුවෙන් නේපාලයේ දිස්ත්‍රික්ක 75න් 30කට බලපෑම් එල්ලවී ඇති බව නේපාල බලධාරීහූ පැවසූහ.

දසදහසක් පමණ ජනතාව දෙවන දිනයටද ඊයේ දිනයේ කූඩාරම් වල රැය පහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 80කට පසුව නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනය මෙය බව වාර්තා වේ.
 

19 පාර්ලිමේන්තුවට - ජනපතිත් එයි

19 වන ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

මේ අතර අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේවන විට මැතිසබයට පැමිණ සිටියි.

ඒ අනූව අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මීට ටික වේලාවකට පෙර ආරම්භ කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පැවසීය.

මීට අදාළ ඡන්ද විමසීම හෙට සවස 6.30ට පමණ සිදු කිරීමට නියමිත බව සඳහන්ය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පසු ගිය කාලය තුළ දැඩි ව්‍යාකූල තත්ත්වයක් පැවති අතර අවස්ථා දෙකකදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද එම උත්සාහයන් ව්‍යර්ථ වුණි.

කෙසේ වෙතත් අද දිනයේ මෙය විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුව තුළ මෙම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීමට තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වන අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 150 දෙනෙකුගේ සහාය මීට අවශ්‍ය වේ.

කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළම දේශපාලන පක්ෂ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ ද මේ වනවිට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය දෙන බව පවසා ඇත.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය අදාළ පනත් කෙටුම්පතට සහය ලබා දෙන්නේද නැත්ත යන්න පිළිබඳව මේ වන තෙක් සිය පක්ෂයේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කර නැත.

19 ට සහාය ලබා දිය යුතු නොමැති බව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු එහි නායක ආර්. සම්බන්ධන් මහතාට පවසා තිබේ.

කාර්මික දෝෂයට ලක්වූ යානය අද ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවක්

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානය අද දිනය තුළ මෙරටට පැමිණිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

යානය ඊයේ දිවයිනට පැමිණිමට නියමිත තිබුණි.

එහෙත් නේපාලයට බලපෑ පසු කම්පන තත්ත්වය හේතුවෙන් එය  කත්මණ්ඩු ගුවන්තොටුපළෙන් පිටත්වීම ප්‍රමාද වූ බව ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.

පසුව නැවතත් යානය පිටත්වීමට සූදානම් කර තිබියදී සුළු කාර්මික දෝෂයක් හටගෙන ඇත.

පාකිස්ථාන ගුවන් හමුදාවේද සහය ඇතිව  එම දෝෂය  නිවැරදී කිරීමේ කටයුතු  සිදුකරමින් පවතින අතර, කඩිනමින් එය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ගුවන් හමුදාව පවසයි.

අදාළ යානය තුළ ශ්‍රී ලංකා වයස 14න් පහල පාපන්දු කණ්ඩායම ඇතුළු 35 දෙනෙකු පමණ සිටින අතර ඔවුන් අද දිනය තුළ දිවයිනට පැමිණෙනු ඇත.
 
 
 

දයා අල්විස් දිවිසැරිය නිමාකරයි


රිය අනතුරකට ලක්ව සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද පෙරවරුවේ ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

දින කිහිපයකය ඉහතදී රිය අනතුකරකට ලක්වුණු ඔහු රෝහල් ගතව සිටි අතර ඔහුගේ මොළයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පසුගියදා සඳහන් කර තිබිණි.

වේදිකාවෙන් රංගනයට පිවිසි දයා අල්විස් මහතා ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසක රංගනයෙන් සිය කුසලතා විදහා දැක්වූ ප්‍රවීණයෙකි.

අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.