අවංක පොලිස් නිලධාරීන් පොලීසිය හැරයනවා - අනුර‍ සේනානායකට මෙතරම් සැලකිලි ඇයි?

ශ්‍රී ලංකා පොලීසිය මෙතරම් ජරා ජීර්ණ වූ යුගයක් නොමැති බවත්, මේවන විට එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාකා සමිතියක් බවට පත්ව ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පොලීසියේ වත්මන් ක්‍රියකලාපය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පෙන්වාදෙයි.


එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මේ මොහොතේ පත්ව සිටින ඛේදනීය තත්ත්වය අතිශයින්ම කනගාටුදායකය. වසර 148 ක දීර්ඝ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මෙතරම් ජරාජීර්ණ වූ වෙනත් යුගයක් නොමැති තරමට එම තත්ත්වය වර්ධනය වී ඇත. විශේෂයෙන් ම දේශපාලන බලය නිසාවෙන් දෑස් අන්ධ වී ඇති ඇතැම් පොලිස් නිලධාරීන් විසින් සිදු කරන්නා වූ අශෝභන ක්‍රියා පිළිබඳව දිගින් දිගටම පෙන්වා දීමට සිදු වීම නීරස සිදුවීමක් බවට මේ වන විට පත්ව තිබේ.


පොලිසියේ මේ අතාර්කික භාවයට ප්‍රධාන හේතුව එය දේශපාලනීකරණය වී තිබීම බව සුපැහැදිලිය. දෙපාර්තමේන්තුවක් ලෙස පොලිසියේ ස්වාධීනතාවය ආරක්ෂා කළ ඊට වටිනාකමක්, ගෞරවයක් ලබා දුන් 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක් රැයකින් අහෝසි කිරීම තුළ පිට කොඳු බිඳ ගත් ආයතනයක් බවට අද එය පත්ව තිබීම කනගාටුදායකය. පොලිසිය ආයතනයක් ලෙස කෙතරම් දේශපාලනීකරණය වී ඇත් ද කියතොත් වර්තමානයේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් එක් අනුබද්ධ සංවිධානයක් නොඑසේ නම් ශාඛා සමිතියක් බවට පත්ව තිබේ. ජනතා බදු මුදලින් නඩත්තු වන ආයතනයකට එසේ කටයුතු කළ හැකි ද යන්න පැහැදිලි ප්‍රශ්නාර්ථයක්ම ය.


පොලීසියේ එම නොහැකියාව දැන් පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණය තුළ දී ද මනාව දැක ගත හැකිය. දිගින් දිගට ම පිම්මේ වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට හා පාලනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි තරම්ය. රටේ එක් පළාතක පවත්වන මැතිවරණයක දී හෝ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට පොලිසියට හැකියාවක් නොමැති නම් ඉදිරි ජාතික මැතිවරණයක දී එවැන්නක් සම්බන්ධයෙන් සුළු හෝ බලාපොරොත්තුවක් තබා ගත හැකි ද? මැතිවරණ නීතිය කඩ කරන්නේ දැයි සුපරීක්ෂාවෙන් සිට ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම පොලිසියට අයත් කාර්යයක් වනමුත් පොලිසිය නොකරන්නේ ද එයම ය.


ඌව පළාත තුළ දී පොලිසිය රාජකාරි කටයුතු කරමින් සිටිනුයේ පැහැදිලිවම ඒකපාර්ශවීය ආකාරයට ය. රජයට හිතවත් මැරයන් ට ඕනෑම දෙයක් කිරීමට නිදහස ලබා දී පසෙකට වී බලා සීටිම තමන්ගේ වගකීම සේ පොලිසිය විශ්වාස කරන බවක් පෙනී යයි. ආණ්ඩුවට වැඩි වැඩියෙන් සහාය දැක්වීම තුළ නොඑසේ නම් වැඩි වැඩියෙන් “කඩේ යෑම” තුළ තම පෞද්ගලික සිතැඟියාවන් ඉටු කර ගැනීම මේ වන විට පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ගේ එකම අභිප්‍රාය වී ඇත.


දක්ෂතාව, හැකියාව ඇති නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට කිසිදු තැනක් අද එහි නොමැති අතර, එවැන්නන් නිරතුරුවම පොලිසියට “ආයුබෝවන්” කියන ආකාරයක් දැක ගත හැකිය. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට එහි නවතම ප්‍රකාශනය වී ඇත්තේ කුප්‍රකට අලුත්ගම සිදුවීමේ දී නීතිය සාධාරණව බලාත්මක කිරීමට උත්සාහ කළ නියෝජ්‍ය පොලිස්පති වී.ඉන්ද්‍රන් මහතා ය. අලුත්ගම සිදුවීමේ දී නිවැරදිව රාජකාරී කිරීමට උත්සාහ කළ ඉන්ද්‍රන් මහතාව නිහඬ කිරීමට පැහැදිලි හස්තයක් ඉන් පසු ක්‍රියාත්මක වූ අතර, ඒ නිසා ඇති වූ සිත් කළකිරීම කෙතරම් ද කියතොත් දක්ෂ අවංක නිලධාරියෙකු පොලිසිය හැර යන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ.


කලකට පෙර ඇඹිලිපිටිය ප්‍රදේශයේ රජයට සම්බන්ධ මැර ප්‍රාදේශිය දේශපාලඥයෙකුට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාට මුහුණ පෑමට සිදු වූයේ ද එබඳු ම වූ අවාසනාවන්ත ඉරණමකට ය. පොලිසියේ රාජකාරියට ආයුබෝවන් කී ඒ මහතා අද ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබමින් සිටී.


දක්ෂිණ අධීවේගී මාර්ගයේ දී මාර්ග නීති උල්ලංඝණය කළ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට අත් වූයේ ද එවැනිම වු ඉරණමකි. මේ ආකාරයට මෑත කාලයේ ගිලටීනයට හසු වූ පොලිස් නිලධාරීන් පිළිබඳ ලැයිස්තුවක් සැකසුවහොත් අනිවාර්යයෙන්ම එය දීර්ඝ එකක් වනවාට කිසිදු සැකයක් නොමැත.


සුදුස්සාට, දක්ෂයන්ට පොලිස් දෙපාර්තමේන්තුව තුළ කිසිදු තැනක් නොමැති වූවත් දේශපාලන හෙංචයියන් නම් අද ඒ තුළ පිණුම් ගසමින් සිටිති.


ඒ ලැයිස්තුවේ ඉහළින්ම සිටිනුයේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ය. ඔහු සම්බන්ධයෙන් පාලකයන් කෙතරම් කෘතවේදි වී ඇත් ද කියතොත් පසුගිය අවුරුදු තුන තුළ තෙවතාවක් සේවා දිගු ලබා ගැනීමට තරම් ඔහු වාසනාවන්ත වී තිබේ. විශ්‍රාම යා යුතු වයස සම්පූර්ණ වූ පසු මෙතරම් සේවා දිගු සංඛ්‍යාවක් හිමි කර ගත් එකම වාසනාවන්තයා අනුර සේනානායක ය.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යනු දේශපාලන පොලිස් නිලධාරියෙකු බව පසුගිය දා ප්‍රසිද්ධ අධිකරණයක් ඉදිරියේ ඔහු කළ ප්‍රකාශයකින් මනාව ඔප්පු විය. මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් මනාප ඡන්ද තුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් තමන්ට ලබා ගත හැකි බව සේනානායක එහිදී පැවසුවේ කිසිදු ලජ්ජාවකින් තොරව ය. දේශපාලන බලය නිසාවෙන් ඔහු කෙතරම් මත් වී ඇත් ද යන්න පෙන්වීමට ඊටත් වඩා තවත් සාක්ෂි අවශ්‍ය නොමැති තරම් ය.


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තම ධුරයේ සිටිමින් දේශපාලනය කළ බවට චෝදනා එල්ල කළ, උස් හඩින් කෑ ගැසු පුද්ගලයින් දේශපාලනික වටිනාකමක් සහිත අනුර සේනානායකගේ එම ප්‍රකාශය පිළිබඳව නිහඬව සිටීම සම්බන්ධයෙන් අප පුදුම නොවිය යුත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉටු කරමින් සිටිනුයේ ඔවුන්ගේ අවශ්‍යතාව වන බැවිනි.


මෙම ආන්දෝලනාත්මක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සැක කටයුතු ව්‍යාපාරික ගනුදෙනු හා පුද්ගල සම්බන්ධතා පිළිබඳව මෑත කාලයේ දී විකල්ප දහරාවේ මාධ්‍ය අවස්ථා කිහිපයක දී අනාවරණයන් ඉදිරිපත් කර තිබූ අතර, ඒවායේ සත්‍යතාවයක් ඇත්නම් එය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය පිළිබඳව ප්‍රශ්නාර්ථයක්ම ය.


සැබැවින්ම පොලිසියට සැබෑ “නිදහසක්” හිමිවනුයේ මෙබඳු දූෂිතයන්, වංචනකයින්, ඉන් ඉවත්ව ගිය පසු ය. ආයතනයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ස්වාධීනතාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග, ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට සමගාමීව මෙබදු දූෂිත නිලධාරින් සම්බන්ධව ද කටයුතු කිරීම එකසේ වැදගත් වනුයේ එවැනි සන්දර්භයක ය.


2014. 09. 04



Post a Comment