ශ්‍රී ලංකාවේ ප්‍රජා පොලිස් සේවය නරක නෑ

මෙරට තුළ ක්‍රියාත්මක වන ප්‍රජා පොලිස් සේවය තුළින් ජනතාවගේ විශ්වාසය වර්ධනය වන බව බ්‍රිතාන්‍ය පවසයි.

උතුරු පළාතේ තෙදින නිල සංචාරයක නිරත වු මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැකින් සිය සංචාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම අදහස් පළ කර ඇතැයි සඳහන්ය.


දේශීය ප්‍රජාවගේ සහ සිවිල් පරිපාලන ආයතන වල විශ්වාසය වර්ධනයවීම තුළින් මෙරට තුළ දිගුකාලීන ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් ගොඩනැගීම කෙරෙහි වැදගත් වනු ඇති බව ඔහු පෙන්වාදී ඇත.


අදාළ සංචාරය තුළ දී තමාට ප්‍රජා පොලිස් සේවයේ නිරත පොලිස් නිලධාරීන් සමඟ මෙන්ම ඉන් ප්‍රතිලාභ ලබන පිරිස් සමඟ විවෘතව සාකච්ජා කිරීමට හැකිවු බව මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා පෙන්වාදී තිබේ.


එහිදී උතුරේ වැසියන් විසින් අපරාධ ක්‍රියා අවම කිරීම කෙරෙහි පොලිසියෙන් ලබාදෙන සහයෝගය පිළිබඳ ප්‍රශංසාව පළ කරමින් විවෘතව අදහස් ඉදිරිපත් කළ බව ජෝන් රැකින් පවසා ඇත.


ආසියා පදනම සමඟ එක්ව ශ්‍රී ලංකා පොලිසිය සිදුකරන ප්‍රජා පොලිස් සේවා වැඩසටහන් තමා ද පිළිගන්නා බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.


එම වැඩසටහන හරහා ප්‍රජාව දැනුවත් කිරීම, පාපැදි මුර සංචාර ආදිය සිදුකෙරෙන අතර එමගින් පොලිසිය සහ මහජනතාව අතර පවතින සබඳතාව ගොඩනැගෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.



Post a Comment