අනතුරින් හිමිනම අපවත්වෙයි

පස්සර - මඩොල්සීම මාර්ගයේ සිදුවු රිය අනතුරකින් හිමිනමක් අපවත් වී තිබේ.

ඊයේ පස්වරුවේ අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


පස්සර සිට මඩොල්සීම බලා ධාවනය වු ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වි මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු රියදුරු සහ හිමිනම පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හිමිනම අපවත් වී ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුර සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



කෝටියක වල්ලපට්ටා රේගුවේ හිරවෙයි

රුපියල් කෝටියක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ 13ක් සමග සමග චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මලයාසියාවේ, ක්වාලාලාම්පුර් හරහා චීනයේ ෂැංහයි දක්වා යාමට මෙම චීන ජාතිකයා සැලසුම් කර ඇත.


ඒ අනූව අද අළුයම සැකකරු (43) කටුනායක ගුවන් ‍තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.



මවගේ පහර කා වැල්ලම්පිටියේ සය හැවිරිදි දැරියක් මියයයි

බේරුවලදී පියෙකුගේ අමානුෂික පහරදීමකින් අවුරුදු එක හමාරක දැරියක මියයාමේ සිද්ධියෙන් පසු මවකගේ අමානුෂික පහරදීම නිසා අවුරුදු 6ක දැරියක් මියගිය තවත් ඛේදනීය පුවතක් වැල්ලම්පිටියෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාගහමුල්ල පාර, කොලොන්නාව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 6ක් වන ෆාතිමා සෆියා නැමැති දැරියකි.


නංගිගේ ගෙල මිරිකා මව ඇයට පයින් පහරදුන් බවටද අවුරුදු 7ක් වූ සහෝදරයා විසින් මෙම සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබාදී ඇත.


අමානුෂික පහරදීම හමුවේ දැඩි ලෙස අසාධ්‍ය වූ එම දැරිය ඊයේ උදෑසන කොළඹ ‍රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 29 දැරියගේ මව අත්අඩංගුවට ගෙන ඇත.


පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.



දැලි ඔයේ පාවෙන මළ සිරුර කාගේද?

රත්තොට, මාතලේ ප්‍රධාන මාර්ගයේ කුරුවැව පාලම අසළ දැලි ඔයේ තිබි මළ සිරුරක් සොයාගෙන තිබේ.

රත්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර පාවෙමින් තිබියදි සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.


33 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් මෙලෙස සොයගෙන ඇති බව සඳහන් වෙයි.


අදාළ කාන්තාව ඔයට පැන සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.


රත්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



එල්.ටි.ටි.ඊ. සංවිධානය ප්‍රතිසන්ධානයවීමේ සුදානමක්

එල්.ටි.ටි.ඊ සංවිධානය නැවත වරක් ඕස්ට්‍රේලියාව තුළ ප්‍රතිසන්ධානයවීමේ සුදානමක් පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පළා යෑමට උත්සාහ කිරිමේ දි අත්අඩංගුවට ගත් පිරිසකගෙන් මෙම තොරතුරු අනාවරණය වි ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.


පසුගියදා ඉන්දියාවේ ප්‍රකාශන් මුහුදු තීරයේ දි එරට බලධාරින් විසින් ඕස්ට්‍රේලියාවට පළා යෑමට උත්සහ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.


මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් ශ්‍රි ලංකාවේ මුලතිව් සහ මඩකලපුව යන ප්‍රදේශ වල අය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.


මොවුන් අවුරුදු 26 සහ 28 යන වයස් කාණ්ඩ වල පසුවන්නන් බව ද සඳහන් වෙයි.


මෙවැනි තරුණයින් ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොමුවිය හැකි බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.


කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව බලා යෑමේ මොවුන්ගේ අරමුණ රැකියා සොයා ගැනිම නොවන බව ද එම මාධ්‍ය පෙන්වා දෙයි.


මේ අතර මොවුන් සතුව තිබි චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ කිහිපයක් ද සොයාගෙන ඇති අතර එම උපකරණ භාවිතා කරමින් ඔවුන් කැනඩාව සහ එංගලන්තයේ දෙමළ ජනතාව සම්ග සාකච්ඡා කර ඇති බව ද ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.



තුන්වන පාසල් වාරය අද සිට

තෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු අද(01) සිට ආරම්භ වී තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන පාසල් හැර සෙසු පාසල් අද ආරම්භ කර ඇත.


විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 12 වැනි දින දක්වා තෝරාගත් පාසල් 10ක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සිදු කෙරෙන බවයි.


ඒ අනුව කොළඹ රාජකීය, විශාඛා, කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, කුලියාපිටිය ශාන්ත ජෝශප් සහ කෑගලු බාලිකා විද්‍යාලය ලබන 12 වැනි දින දක්වා වසා දැමෙනු ඇත.


මීට අමතරව මහනුවර කින්ග්ස්වුඩ්, ගාල්ල විද්‍යාලෝක සහ බදුල්ල විහාරමහදේවි බාලිකා විද්‍යාලය ද එම කාලය තූළ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.


මේ අතර දෙවන අදියරේ ඇගයිම් කටයුතු ලබන මස 14 වන දා සිට 27 වන දින දක්වා සිදු කිරිමට නියමිතය.



ජනපති - මෝඩි හමුවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර සාකච්ඡාවක් එළඹෙන එක්සත් ජාතින්ගේ මහ සමුළුවේ දි පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතින්ගේ 69 වන මහ සමුළුව සැප්තැම්බර් මස 16 වන දින ආරම්භ විමට නියමිතය.


එහි ප්‍රධාන දේශන සැප්තැම්බර් මස 24 වන දින ආරම්භ විමට නියමිත අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස 25 වන දින මහ සමුළුව ඇමතිමට නියමිතව තිබේ.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ද මෙම සමුළුව ඇමතීමට නියමිත අතර එහිදි ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර අදාළ සාකච්ඡා පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.


නරේන්ද්‍ර මෝඩි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසෙන දෙවන අවස්ථාව මෙයයි.


මේ අතර ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ලබන 07 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.


එහිදි ජපාන අග්‍රාමාත්‍යවරයා ,ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කිරිමට නියමිත බව ද ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කරයි.