මොණරාගලට දෙනවානම් සෙසු දිස්ත්‍රික්ක වලටත් දෙන්න

මොණරාගල දිස්ත්‍රික්කයට ලබාදීමට නියමිතව ඇති සහනාධාර විපතට පත් සෙසු දිස්ත්‍රික්වල ජනතාවට ද ලබාදිය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ මැතිවරණය පැවැත්වෙන කාලය තුළ අදාළ දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් හෙට දිනයේ යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වන බවයි.


දේශපාලන බලපෑම් වලින් තොරව මොණරාගල දිස්ත්‍රික්කය තුළ නියං සහනාධාර බෙදාදීමේ කටයුතු සිදුකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා රජයට දැනුම්දෙන ලදී.


ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම්දීම සිදුකළේ මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීමකට අනුව අදාළ සහනාධාර ලබාදීම අත්හිටුවීමට රජය ගත් තීරණයට එරෙහිව මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව නියඟය සහ වෙනත් කාලගුණික බලපෑම් හේතුවෙන් දිස්ත්‍රික් 16ක පවුල් 4,83,486 ට අයත් පුද්ගලයින් 17 ලක්ෂක් පමණ පීඩාවට ලක්ව තිබේ.


නියඟය හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයටයි.


හම්බන්තොට,පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, අනුරාධපුරය, පුත්තලම සහ අම්පාර යන දිස්ත්‍රික්වලට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.


මොණරාගල දිස්ත්‍රික්කයේ ද පවුල් 50,000කට පමණ අයත් පුද්ගලයන් ලක්ෂ 2ක පමණ පිරිසක් විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.



Post a Comment