මැදිරිගිරිය රෝහලේ බාහිර රෝගී අංශයෙන් සිය මවට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ තමාට එම රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු පහරදුන් බවට චෝදනා කරමින් කාන්තාවක මැදිරිගිරිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
ඊ.එම්. අමරාවතී 43 හැවිරිදි කාන්තාවක මෙලෙස පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
අමරාවතී මහත්මිය රෝහලට ගොස් ඇත්තේ සිය 83 හැවිරිදි මවට ප්‍රතිකාර ලබා ගැනීමට බවත්, මව අසනීප තත්ත්වයකින් පසුවීම නිසා ඇය නිවසේ තබා ඇගේ සායන පත රැගෙන මාසිකව ලබාදෙන බෙහෙත් ගැනීමට ඇය ගොස් ඇති බවත් සඳහන් වෙයි.
වෛද්‍යවරයාට ඇය සායන පත ලබාදී මව අසනීප තත්ත්වයේ පසුවන නිසා නොපැමිණි බව කී විට මව කැඳවාගෙන එන ලෙසට එම වෛද්‍යවරයා පවසා ඇතැයි වාර්තාවෙයි.
අනතුරුව එම කාන්තාව වෙනත් වෛද්‍යවරයකුට සිද්ධිය පවසා ඇති අතර එම වෛද්‍යවරයා ද ඇයට මව සමඟ වෙනත් දිනයක එන ලෙසට දන්වා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
අනතුරුව පෙර කී වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණ සියලුදෙනා ඉදිරියේ ඉතා තදින් ඇයට අත දිගහැර පහරක් ගසා ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටියේය.

Post a Comment