වෘත්තීය සටන් සඳහා සුදුසුම මේ වෙලාවයි

වෘත්තීය සටන් සඳහා ඉතාම සුදුසු අවස්ථාව දැන් උදාවී ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

මේ ඒ සඳහා ඉතාම සුදුසු අවස්ථාව වී ඇත්තේ එක් පසෙකින් ආණ්ඩුවේ ශක්තිමත් බව හීනවෙමින් යද්දී අනෙක් පසින් ජනාධිපතිවරණයකට ලකලෑස්තිවීමට ආණ්ඩුවට සිදුව ඇති නිසා බව ලාල්කාන්ත මහතා සඳහන් කළේය.


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්වීමට නම් 50%ට වඩා ඡන්ද ලබාගත යුතුව ඇති බැවින් ජනතාවගේ හිත් දිනා ගැනීම අත්‍යවශ්‍යවී ඇති බව ඔහු කියා සිටියේ අද(10)රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ වාර්ෂික මහ සමුළුවට එක්වෙමිනි.


ලක්ෂ 12-14 ක් පමණ වන රාජ්‍ය සේවකයින්ගෙන් ලක්ෂ 2ට තරමක් වැඩියෙන් සිටින්නේ ගුරු සේවයේ අය බැවින් ගුරුවරුන් වුවද නොසලකා හරින්නට හැකියාවක් නොමැති බව ලාල්කාන්ත මහතා මෙහිදී අවධාරණය කළේය.


දෙසැම්බර් 30 ට කලින් ගුරු-විදුහල්පති වැටුප් වර්ධක ගැටළු හා උසස්වීම් ගැටළු විසඳීමට මේවන විටත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවට මාධ්‍යවල පුවත් පළවූ බවද ඔහු සිහිපත් කළේය.


ඒ නිසාම සියලුම වෘත්තීය සංගම්,සියලුම ධීවර සමිති,සියලුම ශිෂ්‍ය සංගම් ඇතුළු අයිතීන් වෙනුවෙන් අරගල කරන සියලුම දෙනා තම ඉල්ලීම් උපරිමයෙන් ආණ්ඩුවට ඉදිරිපත් කළ යුතුව ඇති බව ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.


වෘත්තීය සටනක් ජයග්‍රහණය කිරීමට නම් එකී සටනේ ඉල්ලීම් මේ රටේ ජනතාවගෙන් බහුතරයක පිරිසක් ‘දිනාගත යුතු ඉල්ලීම්‘බවට සැලකිය යුතු බවත්, ඒ නිසාම ජනතාව දැනුවත් පළමුව එය මතවාදී වශයෙන් ජයග්‍රහණය කළ පසු අරගලය 90%ක් සම්පූර්ණ බව හෙතෙම පෙන්වා දුන්නේය.


2006 ජනවාරි 31 වන විට සිව්දෙනෙකුගෙන් යුතු පවුලක මාසික වියදම රු.25,344ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කර ප්‍රකාශයට පත්කර තිබුණු බවත්, එය 2014 ජූලි මාසය වන විට රු.50,792ක් බවට පත්ව ඇති බව එම දෙපාර්තමේන්තුව විසින්ම යළි තහවුරු කර ඇති බවත් ලාල්කාන්ත මහතා කියා සිටියේය.


ඒ අනුව වැඩිවීම සංඛ්‍යාත්මක ලෙස ගත් කල රු.25,448 ක් බවත්, ප්‍රතිශතයක් ලෙස ගත් කල එය 100% ක වැඩිවීමක් බවත්, ඒ නිසාම වැඩිවන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු බව ජාත්‍යන්තර කම්කරු සම්මේලනය පවා පිළිගන්නා බැවින් ඊට සාපේක්ෂව වැටුප් වැඩිවීමක් සිදුවිය යුතුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment