දේව කැමැත්ත යයි කියා දැරියන් දූෂ්‍ය කරලා-දේවගැති තැන දැලේ

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු දේවස්ථානයක් තුළදී දුෂණය කළ බව කියන දේවගැතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - පම්බල ප්‍රදේශයේ දේවස්ථානයක් පවත්වා ගෙන ගිය 31 හැවිරිදි විවාහක අයෙකු වන අතර ඔහු මාදම්පේ - ඉරට්ටකුලම පදිංචිකරුවෙකි.


අතවරයට පත්ව ඇති එක් දැරියක මේ වන විට 19 වැනි වියේ පසුවන අතර නාත්තන්ඩිය - වීරහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15 දී බව කියයි.


දෙවියන් වෙනුවෙන් කන්‍යාභාවය පුජා කළ යුතු යැයි පවසා සැකකාර දේවගැතිවරයා දේවස්ථානය තුළදී තමන්ව මුල් වරට දුෂණය කළ බවත්,ඉන් පසුව අවස්ථා කීපයදීම ඔහු තමන්ට අතවර කළ බවත් ඇය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්ය.


මහවැව ප්‍රදේශයේ පදිංචිවී සිටින තවත් දැරියක සැකකරු විසින් දුෂණය කර ඇති අතර දැනට 15 වැනි වියේ පසුවන ඇය දුෂණයට ලක්ව ඇත්තේ මීට වසර 02 කට පෙරදීය.


අතවරයට පත්ව ඇති දැරියන් දෙදෙනා තමන්ට සිදුවී ඇති අපරාධයන් සම්බන්ධයෙන් හලාවත පොලීසියට පැමිණ පැමිණිලි කර ඇත.


එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලීසිය සැකකරු රැඳී සිටින බව කියන දේවස්ථානයට ගොස් ඇති අතර එහිදී දැක ඇත්තේ සැකකාර දේවගැතිවරයා කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බවය.


ඒ අනුව වහාම ඔහුව හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.


තමන් විසින් කරන ලද අපරාධ හෙළිවීමෙන් පසුව සැකකරු කිසියම් විෂ වර්ගයක් පානය කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.


මෙම සැකකරු විසින් තවත් දැරියන් කීප දෙනෙකු හා දේවස්ථානයට පැමිණෙන කාන්තාවන් කීප දෙනෙකු දුෂණය කර ඇති බවට තොරතුරු ලැබී ඇතත් ඒ සම්බන්ධ පැමිණිලි නොමැති බව පොලීසිය කියයි.


සැකකරු හලාවත මහා රෝහලේ 04 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබ අතර අතවරයට පත්වූ බව කියන දැරියන් දෙදෙනා එම රෝහලේදීම 09 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.


හලාවත පොලීසියේ අපරාධ විමර්ශන අංශය වැඩි දුර පරීක්ෂණ කරගෙන යයි.



Post a Comment