වාහනය නතර කළ නිසා මන්ත්‍රී ගැහුවාලු - පොලීසියෙන් පරීක්ෂණයක්

යක්කලමුල්ලේ මාර්ග සංවර්ධන කටයුත්තක නිරත වී සිටි පුද්ගලයෙකුට අහංගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ එච්. පී. ඒ. එස් ජයමාල් සුදර්ශන (32) නැමැති කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


ඊයේ සවස ඔහු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ අදාළ මන්ත්‍රීවරයා ඇතුළු කිහිප දෙනෙකු ගමන් ගත් වාහනයක් නැවතීම නිසා බව පැවසෙයි.


ඒ ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාර අලුත්වැඩියා කරන නිසා තාවකාලිකව වාහන නතර කිරීමේ පුවරුවක් ප්‍රදර්ශනය කළ අවස්ථාවේදී ඔවුන් වාහනයෙන් බිමට බැස තමාට පහරදුන් බවයි.


පහරදීමට සම්බන්ධ වූ අය බීමතින් සිටි බවද ඔහු පැවසුවේය.


එම අවස්ථාවේදී තමන් සමග සේවය කරන පිරිසක් පැමිණ තමාව බේරාගත් බවද, කියා සිටි ඔහු මේ ගැන ඊයේ සවස 6ට පමණ අහංගම පොලීසියට පැමිණිලි කළ බවද, පැවසීය.


සිද්ධිය ගැන අහංගම පොලීසියෙන් විමසූ අවස්ථාවේදී එහි ස්ථානාධිපතිවරයා කියා සිටියේ මේ ගැන පැමිණිල්ලක් ලැබුණු බවයි.


ඒ අනූව සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රීයේම ගොස් විමර්ශන ඇරඹු බවත්, දෙපාර්ශවයම කැඳවා එකී ගැටුම ගැන වැඩිදුරටත් විමර්ශනයක් හෙට සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, හෙතෙම කියා සිටියේය.



Post a Comment