ලෙබනනය ලාංකික මවක් හා දරුවෙක් පිටුවහල් කරලා

ලෙබනනයේ රැකියාවේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඇයගේ 13 හැවිරිදි දරුවා එම රටින් පිටුවහල් කර තිබේ.

ලෙබනනයට පැමිණෙන විදේශිකයින් සහ පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙබනන් ආරක්ෂක ඒජන්සිය නිකුත් කළ නිවේදනයකට අනුව ඔවුන් ලෙබනනයෙන් පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.


මේ වන විට ශ්‍රි ලංකාවට පැමිණ සිටින එම දරුවා ප්‍රකාශ කර ඇත්තේ ලෙබනන් ආරක්ෂක ඒජන්සියේ බලධාරීන් විසින් ලෙබනනයේ ජිවත් වීම සඳහා විදේශීය ශ්‍රමිකයින්ගේ දරුවන්ට තවදුරටත් වීසා බලපත්‍ර ලබා නොදෙන බවට දැනුම් දුන් බව සහ ඒ හේතුවෙන් දින දෙකක් තුළ රටින් පිටව යන ලෙස දැනුම් දුන් බවයි.


කෙසේ වෙතත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ එම මව සහ දරුවා පසුගිය ජුනි මාසයේ දී ලෙබනනයෙන් පිටුවහල් කර ඇති අතර දරුවාගේ පියා තවමත් ලෙබනනයේ සිටින බවකි.


එම දරුවා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඔහුට ලෙබනනයේ පුරවැසිභාවය පවතින අතර මින් පෙර තමා ලංකාවට පැමිණ නොමැති බවය.


ඔහුගේ මවට ද මේ වන තෙක් ලංකාවේ රැකියාවක් ලබා ගැනීමට නොහැකි විම හේතුවෙන් ඇය නැවත ලෙබනනයට යාමේ අපේක්ෂාවෙන් පසුවන බව ද එම දරුවා ප්‍රකාශ කර ඇත.


කෙසේවෙතත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ ලෙබනනය තුළ වෙසෙන ශ්‍රමිකයින්ගේ දරුවන් පිටුවහල් කිරීමට කටයුතු කිරීම තුළින් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන බවයි.



Post a Comment