වෙන්නප්පුවේ මැර ප්‍රහාරයක් - තරුණයෙක් මරුට- තවත් තරුණයෙක්ට බරපතළයි

වෙන්නප්පුව - සිරිගම්පල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී සිදු කරන ලද ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇත.

අද (13) වැනිදා සවස 5.30 ට පමණ මෙම සිද්ධිය සිදුවී තිබේ.


මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව - සිරිගම්පල පදිංචිව සිටි ලක්මාල් (අවු:20) යන අය බවට හඳුනා ගෙන ඇති අතර තුවාල ලබා ඇත්තේ නිමේෂ් (අවු:22) නම් අයෙකි.


මෙම සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තියුණු ආයුධ අතැතිව පැමිණ මෙම සිද්ධිය සිදුකර ඇති බව පොලීසිය කියයි.


සිද්ධියෙන් තුවාල ලබා සිටි දෙදෙදෙනාව එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් අයෙකු මියගොස් ඇත.


බරපතළ ලෙස තුවාල ලබා සිටි අනික් අයව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.


එම තුවාලකරුද අධික රුධිර වහනය වෙමින් සිටි බැවින් කොළඹ රැගෙන යන අතර මග මීගමුව මහ රෝහලට ඇතුළත් කර හදිසි ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.


සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.


වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment