ආණ්ඩුව අමාරුවෙන් ලබාගත් ජය සමරන්නේ අපේ සාමාජිකයින්ට පහරදෙමින්- පොලීසියත් නිහඬයි

ඌව මැතිවරණයේදී ආණ්ඩුව අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණය මේවන විට සමරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ට එරෙහිව මැර ප්‍රහාර මාලාවක් මුදා හරිමින් යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පවසයි.

මෙම ප්‍රහාර සිදුකරන පුද්ගලයින්ට දේශපාලන ආශිර්වාදය හිමිව ඇති බවත්, මේ නිසා පොලීසියේ ඉහළ නිලධාරීන්ට ද ඒ ගැන පියවරක් ගැනීමට නොහැකි වී ඇති බවත්, හෙතෙම පෙන්වාදෙයි.


මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරූ ජයසූරිය මහතා මේ බව වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.


සම්මත මැතිවරණ නීති නොතකමින්, ඒවා අමු අමුවේ උල්ලංඝණය කරමින්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම උපයෝගී කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය දැඩි අසීරුවෙන් ඌවේ දී ලබා ගත් ජයග්‍රහණය සමරමින් සිටිනුයේ තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මැර ප්‍රහාර මාලාවක් මුදා හරිමිනි. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් පසු බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක දෙක තුළ පොදුවේ දැක ගත හැකි වූ මෙම නරුම හා අවාසනාවන්ත තත්ත්වයේ නවතම ගොදුර බවට පත්ව ඇත්තේ මහ ඇමති අපේක්ෂකයා ලෙස අප පක්ෂයෙන් ඌවට තරඟ කළ හරීන් ප්‍රනාන්දු මහතා ය.


පසුගිය සෙනසුරාදා පැවැති මැතිවරණයේ දී ඌව මැතිවරණ ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින් මනාප ඡන්ද 173,993 ක් ලැබූ හරීන් මැර ප්‍රහාරයකට ලක් වූයේ දේශපාලන මැරයන්ගේ ප්‍රහාරයට ලක් වූ හාළිඇළ මැතිවරණ කොට්ඨාසයේ තම දේශපාලන ආධාරකරුවන්ගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේ දීය. හරීන් වැනි ඉහළම ජන ප්‍රසාදය හිමි කර ගත් දේශපාලනඥයෙකුට එරෙහිව පවා ප්‍රසිද්ධියේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට එම මැරයන් ඉදිරිපත්ව සිටීමෙන් පැහැදිළි වනුයේ ඔවුන් පසු පස ඇති බලගතු දේශපාලන හස්තයේ තරමයි. මැරයන්ට නිදහසේ තම ගොදුරු සොයා යෑමට ඉඩ ලබාදීම තුළින් පෙනෙනුයේ ඔවුන් පසුපස සිටින දේශපාලනඥයන්ගේ සම්පූර්ණ ආශිර්වාදය ඊට හිමි ඇති බව ය.


සාමාන්‍යයෙන් තමන් පසුබෑ අවස්ථාවකදී ඉන් කනගාටුවට පත්ව තම ප්‍රතිවාදීන්ව හිංසාවට පත් කරනුයේ නොදියුණු ගෝත්‍රික වනචාරී සමාජයන් හිය. ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සහිත ශිෂ්ඨ රටවල එසේ වීමට ඉඩක් නොමැත. ඒ අර්ථයෙන් බලන විට මෙම දේශපාලන ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරනුයේ රටක් ලෙස අප මේ මොහොතේ පත්ව ඇති ඛේදනීය තත්ත්වය ය.


මෙම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් නිරතුරුවම මැර ප්‍රහාරවලට ලක් වූ අතර, බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි, දේශපාලන මැරයන්ගේ පහරකෑමට ලක් වූයේ බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් ස්ථානය තුළදී ය. චමින්ද විජේසිරි මහතා පොලිස් ස්ථානයට ගොස් තිබුණේ තම පාක්ෂිකයන්ට, රජයට සම්බන්ධ මැර පිරිසක් සිදු කරමින් සිටි තර්ජන පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ය. ඒ අවස්ථාවේ දී රජයට සම්බන්ධ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ දරුණු ප්‍රහාරයට ලක් වූ විජේසිරි මහතා මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.


මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දින රාත්‍රියේ මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂකයන් කිහිපදෙනෙකු හා ඔවුන්ගේ කාර්යාල, නිවාස ගණනාවක් ම දේශපාලන මැරයින්ගේ ඉලක්ක බවට පත් වුණි. නිමාව දුටු මැතිවරණයේ දී මොණරාගල එජාප ලැයිස්තුවේ හය වැනි ස්ථානයට පැමිණි රෝයි කාලිංග මහතා ට දේශපාලන මැරයින් ප්‍රහාරයක් එල්ල කළේ 22 වැනි දා අළුයම 1.00 ට පමණ ය. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අප අපේක්ෂකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ලැබෙන ආරංචි එතරම් සුබදායී නොමැත. තමන්ට පහර දීමට මැර කණ්ඩායම් පැමිණෙන බව දැන ගැනීමත් සමග කාලිංග මහතා තම නිවසින් පිටව ඇති අතර, පසුව මැරයන් ඔහු සැඟව සිටි ස්ථානයට පැමිණ පහර දී ඇත. කාලිංග මහතාගේ මෝටර් රථය ද ප්‍රහාරකයන්ගේ ඉලක්කයට ලක්ව තිබුණේ ඊට දරුණු ලෙස හානි ගෙන දෙමිනි.


මොණරාගල දිස්ත්‍රික්කයේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වඩාත් බලපෑම්කාරී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ රෝයි කාලිංග මහතාට සිදු වූ මෙම පහරදීම සම්බන්ධයෙන් සිදු වන පොලිස් පරීක්ෂණ සතුටු දායක මට්ටමක නොපවතී. අප පක්ෂයේ හල්දුමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් කරුණාරත්න මහතාට පිහියෙන් ඇන තුවාල සිදු කර තිබුණේ එම ප්‍රදේශයේ රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි.


එසේම මැතිවරණ දිනයේ රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයෙකුගේ හා ඔහුගේ මැරයන්ගේ ප්‍රහාරයට ලක් වූ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රභාත් ද තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී. මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් ඉකුත් දින කිහිපයේ දී මැරයන්ගේ දේශපාලන ගොදුරු බවට පත්ව තිබේ. ඒ සම්බන්ධව අංග සම්පූර්ණ ලැයිස්තුවක් සැකසුවහොත් එය සෑහෙන දිගු එකක් වන වග සහතිකය.


පිම්මේ වර්ධනය වෙමින් පවතින මෙම මැර ප්‍රවණතාව පාලනය හා නතර කිරීම සම්බන්ධයෙන් නීතිය හා සාමය සුරැකීමේ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව දක්වන උනන්දුව අවශ්‍යතාවයේ තරම හා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. දේශපාලන ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ නිලධාරීන්ට යම් උවමනාවක් ඇති බව පෙනෙන්ට ඇතත් ඉහළ දේශපාලන බලපෑම්හි ගොදුරු බවට ප්‍රාදේශිය පොලිස් නිලධාරීන් පත්ව ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.


ඒ තත්ත්වය පෙන්වා දෙමින් අප පොලිස්පතිවරයා ප්‍රමුඛ මේ හා සම්බන්ධ වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටිනුයේ ප්‍රචණ්ඩත්වය වපුරවමින්, තම විරුද්ධ මතධාරින් හිංසාවට ලක් කරන මෙම දේශපාලන මැරයන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කර අප පාක්ෂිකයන් ඇතුළු සියළු විපක්ෂ ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග නොපමාව ගන්නා ලෙස ය.


මෙවැනි සිදුවීම් නිසාවෙන් සැබැවින්ම සිදුවනුයේ රටේ ජනතාවට මේ ආණ්ඩුව තව තවත් එපා වීම බව පැහැදිළිය. අවසාන විග්‍රහයේ දී එහි වාසිය ලැබෙනුයේ එජපායට ය. නමුත්, ඉන් දේශපාලන වාසි ලබා ගැනීමේ අදහසක් අප පක්ෂයට නොමැත. ඒ එක්සත් ජාතික පක්ෂය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිස් නිදහසට ගරු කරන සැබෑ ප්‍රජාතන්ත්‍රීය පක්ෂයක් ම වන නිසාවෙනි.


2014.09.23



Post a Comment