වනාතමුල්ල ජනයාගේ දුක් ගැනවිල්ල 26දා විභාගයට

වනාතමුල්ල, 34 වත්ත ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ලබන 26 වන දින කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

කිසිදු දැනුම් දීමකින් තොරව සිය නිවාස කඩා ඉවත් කිරීම නීති විරෝධි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා 34 වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.


කෙසේ වෙතත් නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා එහිදී කියා සිටියේ මෙම පදිංචිකරුවන්ට විකල්ප නිවාස ලබාදීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස්කර ඇති බවයි.


ඒ අනුව හෙට දින නාගරික සංවර්ධන අධිකාරියට පැමිණ පෙත්සම්කරුවන්ට ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි බව නීතිඥවරයා කියා සිටියේය.


කරුණු සැලකිල්ලට ගත් අධිකරණය හෙට දින නාගරික සංවර්ධන අධිකාරියට ගොස් නිවාස ලබා ගැනීම හෝ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබා ගන්නා ලෙස පෙත්සම්කරුවන්ට දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


පෙත්සම ලබන 26 වන දින කැඳවීමට නියෝග කළ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද රජයේ නීතිඥවරයාට දැනුම් දී තිබේ.



Post a Comment