දේශපාලන බලපෑම්වලින් තොරව මොණරාගලට නියං ආධාර බෙදන්න

මොණරාගල දිස්ත්‍රික්කය තුළ නියං සහනාධාර බෙදාදීමේ කටයුතු දේශපාලන බලපෑම් වලින් තොරව සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදුකළ දැනුම් දීමකට අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවට පත්වු ජනතාව සඳහා රුපියල් 2500 ක ආධාර මුදලක් ලබා දීමට ගෙන තිබු තීරණය රජය අත්හිටවනු ලැබීය.


නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට එය බාධාවක් බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කර තිබුණේය.


කෙසේවෙතත් නියං සහනාධාර අත්හිටුවීමට රජය ගත් තීරණය තුළින් තමන්ට අසාධාරණයක් සිදුවු බව පවසමින් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.


එම පෙත්සම සළකා බැලු අග විනිසුරු මොහාන් පීරිස් මහතා සඳහන් කර ඇත්තේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා නොවන ආකාරයෙන් එම සහනාධාර ලබාදීම සුදුසු බවයි.


සහනාධාර බෙදා දීමේ කටයුතු දේශපාලන බලපෑම් වලින් තොරව සිදු කරන ලෙස දැනුම් දුන් අගවිනිසුරුවරයා එම කටයුතු වලට ඡන්ද වීමසීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් හෝ දේශපාලන පක්ෂ නියෝජිතයින් සම්බන්ධ කර නොගන්නා ලෙස ද මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී ඇත.


සහනාධාර බෙදා දීමේ කටයුතු මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් පමණක් සිදුවිය යුතු බව අගවිනිසුරුවරයා නියෝග කර තිබේ.



Post a Comment