ජනාධිපතිවරයා මහ දවල් මැතිවරණ නීති කඩනවා - ශෂේන්ද්‍ර ගැන කවර කතාද?

වයඹ ස්කාගාරය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ, හිඟුරාන ස්කාගාරය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරාගේ, කුරුණෑගල බාර්වලින් බාගයක් අයිති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට, ඉතිරි බාගය අයිති ජයරත්න හේරත්ට, කඩුවෙල බාර් අයිති බුද්ධදාසට, ඇල්පිටිය බාර් මුතුහෙට්ටිගේට, යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කරයි.

බාර්, ඉස්කාගාර බවට පත් කරන්නේ ඒ අය බවද මන්ත්‍රීවරයා අද (12) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වත්මන් ආණ්ඩුව එකදු මත්පැන් බලපත්‍රයක් හෝ දී නැතැයි ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


ඌව පළාතේ විවෘත කිරීම්වලට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මහ දවල් මැතිවරණ නීති උල්ලංඝණය කරන බවත්, ජනාධිපතිවරයා එසේ නම් ශෂේන්ද්‍ර රාජපක්‍ෂ ගැන කවර කතාදැයි ප්‍රශ්න කළ අනුර දිසානායක මහතා මැතිවරණ නීති රැකීමේ ප‍්‍රමුඛතම බාධාව රටේ ජනාධිපතිවරයා බවද එහිදී කියා සිටියේය.


ඒ මහතා මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.


ඌවේ පළාත් සභා මැතිවරණය හුදෙකලා ලෙස පවත්වනු ලබන මැතිවරණයක් ලෙස සැලකිය නොහැකියි. රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ඊළඟ බල සැලැස්මේ කොටසක් බවට මෙම මැතිවරණය පත්කරගෙන තිබෙනවා. 2017 ජනවාරි මාසයේ පැවැත්විය යුතුව ඇති ජනාධිපතිවරණය බොහෝදුරට 2015 ජනවාරි මාසයේ හෝ 2015 මාර්තු මස කැඳවීම සඳහා ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටිනවා. මෙම පළාත් සභා මැතිවරණය කැඳවා තිබෙන්නේ එයට පෙරහුරුවක් ලෙසටයි. එහි ගුණඅගුණ මනිනු ලබන ඡන්දයක් ලෙස ඔහු මෙය සලකනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මෙතෙක් පැවතුණු පළාත් සභා මැතිවරණයකට වඩා රාජපක්ෂ පාලනයට මෙම මැතිවරණය සුවිශේෂී වැදගත්කමක් තිබෙනවා.


අනෙක් පළාත්සභා එක්ක ගත්තම මෙම මැතිවරණයේ තිබෙන අනෙක් වැදගත්කම වන්නේ මෙහි ප‍්‍රධාන අපේක්‍ෂකයා ජනාධිපති පවුලේ සමීපතමයෙකු වීමයි. ඒ නිසාම මෙම මැතිවරණය රාජපක්‍ෂ පාලනයටත් පවුලටත් එරෙහිව රටතුළ ගොඩනැගෙන විරෝධය ප‍්‍රකාශයට පත්වන අවස්ථාවක් විය හැකි බව ආණ්ඩුව දන්නවා. ආණ්ඩුවට තිබෙන අනෙක් අභියෝගය වන්නේ මෙම මැතිවරණය පැවැත්වෙන්නේ විශාල අඩුපාඩුකම් සහිත දුෂ්කර පළාතක් වීමයි. මෙම පළාතේ බහුතර ජනතාවක් පානීය ජල හිඟයෙන් පෙළෙනවා. ඒ වගේම එම පළාතේ ප‍්‍රධාන වෘත්තීය ගොවිතැනයි. බොහෝ පිරිසකට ගොවිතැන සඳහා ඉඩමක් හෝ අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් බවට පත්වෙලා තිබෙනවා. ඒවගේම අඩු සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි විශාල දරු පරම්පරාවක් ජීවත් වෙනවා.


මොනරාගල දිස්ති‍්‍රක්කයේ වැසිකිළි නොමැති පාසැල් 67%ක් තිබෙනවා. පාසැල් 2$3කට වැසිකිලි පහසුකම් පවා අහිමිවෙලා තිබෙනවා. මොනරාගල දිස්ති‍්‍රක්කයේ 27ක් රක්තහීනතාවයෙන් පෙළෙනවා. එම ජනතාවගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ලේ හිඟකම නිසා රෝගී තත්;aවයන්වලින් පෙළෙනවා. බදුල්ල දිස්ති‍්‍රක්කයේ එම ප‍්‍රතිශතය 16%ක් වෙනවා. එම දිස්ති‍්‍රක්කවල ඈත ගම්මානවල ජනතාවට ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් පවා අහිමි වෙලා තිබෙනවා. නිවසක්, ප‍්‍රමාණවත් තරම් ආදායමක් අහිමිවෙලා තිබෙන අතර වල්අලි ප‍්‍රශ්නය, නියඟය, නිසා විශාල පීඩාවක් විඳිනවා.


මෙවැනි අතිශය දුෂ්කර ජනතාවක් පීඩාවට පත්කරන හේතු නිසා වත්මන් පාලනයට මෙම මැතිවරණය විශාල අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ නිසාම මැතිවරණ නීති උල්ලංඝණය කරමින්, රාජ්‍ය බලය යොදා ගනිමින්, රාජ්‍ය මාධ්‍ය, මැර කණ්ඩායම් යොදා ගනිමින් තත්වය උත්සන්න කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා දකුණු පළාත් සභා සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ තිබුණු තත්ත්වයට වඩා මෙම මැතිවරණය වඩා කණගාටුදායකයි කියලා. මැතිවරණ කොමසාරිස්වරයාට පවා පිළිගන්න සිදුවෙලා තිබෙනවා මැතිවරණ නීති උල්ලංඝණය උත්සන්න වී ඇති බව.


ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු තවත් පක්‍ෂ නාමයෝජනා බාරදී තිබෙනවා. මැතිවරණය පැවැත්විය යුතු වන්නේ දේශපාලන පක්‍ෂ අතරයි. නමුත් අද මුළු මැතිවරණ ව්‍යාපාරයම පවතින්නේ පක්‍ෂ සහ ආණ්ඩුව අතරයි. ජ.වි.පෙ. මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්නේ පක්‍ෂ සාමාජිකයින්, පක්‍ෂ හිතවතුන් යොදාගෙනයි. අපේ ප‍්‍රචාරක කටයුතු සංවිධානය කරන්නේ පක්‍ෂ කි‍්‍රයාකාරීන් විසිනි. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්‍ෂයක් ලෙස නොව ආණ්ඩුවක් ලෙසයි මෙම මැතිවරණයට අවතීර්ණ වී තිබෙන්නේ. පහුගිය දින කිහිපය පුරා ජනාධිපතිවරයා පාසැල් ගොඩනැගිලි විවෘත කිරීමට යමින් තිබෙනවා. ඔහු එවැනි කටයුතු සඳහා උතුරු මැද පළාතට යන්නේ නැහැ. වයඹ පළාතට යන්නේ නැහැ. මොණරාගල සහ බදුල්ලට පමණක් පාසැල් ගොඩනැගිලි විවෘත කරන්නේ මුළුමනින්ම ජනාධිපතිවරයා සෘජුවම තමන්ට ලැබී ඇති බලපතල පාවිච්චි කරගෙන මෙම මැතිවරණයට මැදිහත් වීමයි.


සාමාන්‍යයෙන් එවැනි විවෘත කිරීම්වලට කිසිදු අපේක්‍ෂකයෙකුට සහභාගි විය නොහැකියි. නමුත් එම විවෘතකිරීම්වල ජනාධිපති සමීපයෙන්ම සිටින්නේ ජනාධිපතිවරයාගේ ඥාතී පුත‍්‍රයා. ඔහු ප‍්‍රධාන අපේක්‍ෂකයා. පාසැල් ගොඩනැගිලි පමණක් නොව කුඩා කුඩා පාරවල් බස් නැවතුම්පොළවල් පවා විවෘත කරමින් තිබෙනවා. සාමාන්‍යයෙන් පක්‍ෂයකට මැතිවරණ නීතියට අනුව හැකි වන්නේ මැතිවරණ රැස්වීම් භූමියක් තුළ ප‍්‍රචාරක කටයුතු කිරීමයි. නමුත් අද දින (12) මුළු බදුල්ලම සරසලා තිබෙනවා ජනාධිපතිවරයාගේ පැමිණීම නිසා. ජනාධිපතිවරයා බණ්ඩාරවෙල බස් නැවතුම විවෘත කිරීම රාජ්‍ය උත්සවයක් නොවේ. මෙය මුළුමනින්ම ඡන්ද ව්‍යාපෘතියක් බවට පත්කර තිබෙනවා.


අපේ රටේ පාසැල් ගොඩනැගිල්ලක් විවෘත කරන්න ජනාධිපතිවරයෙක් ගියේ කවදද? මීට පෙර එම ප‍්‍රදේශවල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු විදුහල්පතිවරු එකතු වෙලා එවැනි ගොඩනැගිලි විවෘත කළා. අද රටේ ජනාධිපතිවරයා පාසැල් ගොඩනැගිලි විවෘත කිරීම තමන්ගේ ඡන්ද ව්‍යාපෘතියක් බවට පත්කරගෙන තිබෙනවා. ඒ නිසා මේ ජනාධිපතිවරයා තමන්ට ලැබුණු බලතල අයුතු ලෙස යොදාගනිමින් තිබෙනවා. රටේ පළමු පුරවැසියා වශයෙන් ඔහු නීතියේ ආධිපත්‍යය පිළිබඳව ආදර්ශයක් දිය යුතුව තිබෙනවා. සාධාරණ නිදහස් මැතිවරණයක් පැවැත්වීමට ප‍්‍රමුඛව මැදිහත් විය යුත්තේ ඔහුයි. අද සිදුවී තිබෙන්නේ ජනාධිපතිවරයා මහ දවල් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමයි. ජනාධිපතිවරයා එසේ නම් ශෂේන්ද්‍ර රාජපක්‍ෂ කවර කතාද? විජේමුණි සොයිසාගේ පුත‍්‍රයා ගැන කවර කතාද? මැතිවරණ නීති රැකීමේ ප‍්‍රමුඛතම බාධාව රටේ ජනාධිපතිවරයා බවට පත්වී තිබෙනවා.


භාණ්ඩ බෙදාදීමද ඉතාම පහත් තත්වයකට වැටී තිබනෙවා. සිල් රෙදිවල පවා මනාප අංක ප‍්‍රදර්ශනය කරමින් දැහැමි කටයුතු පවා මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර තිබෙනවා. ජනතාවගේ ආගමික කටයුතු ගැන දේශපාලනයෙන් එහා ගිය සංස්කෘතික කටයුතුයි. ඒ සියල්ල උල්ලංඝණය කරමින් අද රාජපක්‍ෂ පාලනය මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන තිබෙනවා. පානීය ජල බෝතල්වල පවා මනාප අංක ප‍්‍රදර්ශනය කරමින් තිබෙනවා. ජනාතවගේ පිපාසය පවා ඡන්ද ව්‍යාපාරයට යොදාගෙන තිබෙනවා. කුරහන් සාටකය පැළඳගත් ඉතාම උසස් සංස්කෘතියක් පෙන්වන රාජපක්‍ෂ පාලනය සියලූ සංස්කෘතික ගුණාංග මුළුමනින්ම සුණු විසුණු කරමින් තිබෙනවා.


ලංකාවේ පළවෙනි වතාවට හමුදාවේ නිලධාරීන් මැතිවරණයට යොදාගෙන තිබෙනවා. හමුදා කඳවුරුවලින් කණ්ඩායම් වශයෙන් ඇතැම් අපේක්‍ෂකයින් ඡන්ද ව්‍යාපාරවලට සහභාගී කරගෙන තිබෙනවා. හමුදාවේ ඉහළ නිලධාරියාගේ සිට පහළම නිලධාරීයා දක්වා සියලූ දෙනා මෙම දේශපාලන කි‍්‍රයාවලියට අනුගතකරගෙන තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් බිය වද්දවමින් මැතිවරණ කි‍්‍රයාවලියට යොදාගෙන තිබෙනවා. දිස්ති‍්‍රක්ක ගණනාවක සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් කැඳවා ඡන්ද ව්‍යාපාරයට යොදවා ගත්තා. වෘත්තීය සමිතියක් දේශපාලන කටයුත්තක නිරත වීමයි රජයේ ඉහළ නිලධාරියෙක් මැතිවරණ කටයුතුවල නිරත වීමයි හාත්පසින්ම වෙනස්. මෙම පාලනය විසින් අන් කවරදාකටත් වඩා රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට යොදාගෙන තිබෙනවා. ජවිපෙ අපිත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයත් මැදිහත්වීමෙන් ඇතැම් උත්සාහයන් වළක්වා තිබෙනවා.


මැතිවරණ කාර්යාල ගණනාවක් ආණ්ඩුවේ ප‍්‍රහාරයට ලක්වුණා. අපේ පක්‍ෂයේ පමණක් කාර්යාල 30කට වඩා ප‍්‍රහාරයට ලක්වෙලා තිබෙනවා. ඇතැම් ස්ථානවල එකම කාර්යාලයට තුන් හතර වතාවක් ප‍්‍රහාර එල්ල කළා. පොලිස් මාර්ග බාධක, මුර පොළවල් ඉතාම සමීප කාර්යාලවලට පවා ප‍්‍රහාර එල්ල කළා. එනිසා එම කි‍්‍රයාවන්වලට සෘජු රාජ්‍ය බලය මැදිහත්වීම යොදාගෙන තිබෙනවා. අවස්ථා හතරකදී පමණ වෙඩි තැබීම් සිදුකර තිබෙනවා. කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. එම කණ්ඩායම්වලට අවි ආයුධ ආවේ කොහොමද? අපේ සහෝදරවරුන්ට කිහිප අවස්ථාවකදීම පහරදීම් සිදුකර තිබෙනවා.


මෙම පාලනය මැතිවරණයේ ප‍්‍රතිඵලය ඉදිරියේ භීතිය වපුරුවමින් ඉන්නවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියා තිබුණා අංක තහඩු නැති රථවාහන පෙන්වන්න කියලා. ඡායාරූප ගණනාවක් අප සතුව තිබෙනවා. අංක තහඩු නොමැතිව වාහන නිරන්තරයෙන් සැරිසරනවා. පොලිස්පති තුමා කියනවා තැන තැන මාර්ග බාධක තිබෙනවා කියලා. එසේනම් අංක තහඩු නොමැති වාහන ගමන් කරන්නේ කොහොමද? බොහෝ අමාත්‍යවරුන්ගේ වාහන පවා නිල අංකයක් නොමැතිවයි ගමන් කරමින් තිබෙන්නේ. කළු පැහැති ඩිෆෙන්ඩර් රථවලින් සැරිසරමින් ටී 56 අවි ආයුධ අතට ගත් පිරිස් රාති‍්‍රයේ තැනින් තැන වෙඩි තබමින් කරන්න හදන්නේ එම පළාත්වල භීතියක් ඇතිකිරීමයි.


ආණ්ඩුවේ උපක‍්‍ර‍්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි ජනතාව අතර ඇතිවන සංවාදය නතර කිරීම. අප විසින් සාමජය තුළ ගොඩනගන මතය පැතිරීම වළක්වන්න උත්සාහ කරනවා. එම ප‍්‍රදේශවල ජනතාව නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්නට පෙළඹුණහොත් ආණ්ඩු විරෝධී මතයක් ගොඩනැගෙනවා. එයට ආණ්ඩුව බයයි. දෙවැනි උපක‍්‍රමය වන්නේ ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කිරීමට සිටින ජනතාව ඡන්ද පොළට යෑම වැළැක්වීමයි. මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. ඡන්දය ආසන්න වන දින දෙක තුන තුළ මාධ්‍යවලට කිසිදෙයක් ලියන්නට බැරිවෙයි. අපිට කිසිදෙයක් කියන්නට බැරිවෙයි. ඒ තරමට භීතියක් වපුරමින් තිබෙනවා. ඒ සඳහා මොනරාගල බදුල්ල නවාතැන් පොළවල් මේ වෙනකොටත් මැර කණ්ඩායම් විසින් වෙන්කරගෙන තිබෙනවා. ඇතැම් ගම්වල කුලී පදනම මත ගත් නිවාසවල මැර කණ්ඩායම් නතරකොට තිබෙනවා. ආණ්ඩුව මෙය ඉතාම මනෝවිද්‍යාත්මක ගවේෂණයක් හරහා ආණ්ඩු විරෝධී ඡන්ද වැළැක්වී සඳහා සිදුකරන කි‍්‍රයාදාමයක්. මෙම ප‍්‍රයත්නය පරාජයට පත්කළ යුතුයි.


මේවන විටත් එක් රාජ්‍ය මාධ්‍යයක සභාපතිවරයා මාරුකර මඩ ව්‍යාපාරයේ හසල දැනුමක් තිබෙන අමාත්‍යාංශ ලේකම්වරයෙකු එම තනතුරට පත්කර තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය මුළුමනින්ම යොදාගෙන තිබෙන්නේ විරුද්ධ පක්‍ෂයට මඩ ගැසීමටත් ආණ්ඩුවේ ප‍්‍රචාරණයටත් පමණයි. අනෙකුත් මාධ්‍ය ආයතනවලටත් නිල වශයෙන් සහ නොනිල වශයෙන් තර්ජන එල්ල වෙමින් තිබෙනවා. එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට ඌව පිළිබඳ විශේෂ වැඩසටනහක් ඊයේ රාති‍්‍රයේ සිට නවත්වා තිබෙනවා. ඒ රජයේ පාර්ශ්වයෙන් කරනලද බලපෑමක ප‍්‍රතිඵලයකි. රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ සිදුකරමින් තිබෙන්නේ තමන්ගේ මීළඟ වසර 7 සඳහා බලය ගොඩනගා ගැනීමේ ප‍්‍රයත්නයයි.


එනිසා විශේෂයෙන් මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන් මාධ්‍ය ආයතනවලින් මේ තත්ත්වයට එරෙහිව පෙළ ගැසෙන මෙන් ආරාධනා කරනවා. සියලූම පක්‍ෂවලට තමන්ගේ මතය ප‍්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා. හැම ජන කොට්ඨාසයකටම තමන්ගේ මතය ප‍්‍රකාශ කරන්න, දේශපාලන පක්‍ෂවල මතය විමසන්න අයිතියක් තිබෙනවා. මේ උල්ලංඝණය කරමින් තිබෙන්නේ එම අයිතියයි. අපේ රටේ ප‍්‍රජාතන්නත‍්‍රවාදය අත්‍යාවශ්‍ය මොහොතක අහෝසි වෙමින් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින සියලූ ජනතාවට අපි ආරාධනය කරනවා මෙයට එරෙහිව ප‍්‍රබල පවුරක් ගොඩනගන්න කියලා. ඌවේදී සිදුකරන මෙම ආණ්ඩුවේ අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඔවුන් තමන්ගේ බලය ආරක්‍ෂා කරගැනීමට මෙම නීති විරෝධී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාදාමය ඉදිරියටත් යොදා ගැනීමේ අවදානම තිබෙනවා. ඒ නිසා මෙය ආරම්භයේදීම නවතා දැමිය යුතුයි.


මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු...


ඩලස් අලහප්පෙරුම එක එක දේවල් කියනවා. මා ළඟ තිබෙනවා 2006, 2007 රාජපක්‍ෂ පාලනය විසින් ලබාදුන් මත්පැන් බලපත‍්‍ර. ඉන් කිහිපයක් ආණ්ඩුවේ ප‍්‍රධාන අපේක්‍ෂකයෙක් වුණු අනුර විදානගමගේට අයිති ඒවා. ඊට වඩා වැදගත් දෙයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. රාජ්‍ය ප‍්‍රතිපත්තිය වී තිබෙන්නේ මතට තිතයි. එම ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නගන්න ඉන්නේ ඇමතිවරු, පළාත්සභා මන්තී‍්‍රවරුයි. මෑත කාලයේදී මත්පැන් බලපත‍්‍ර දුන්නේම නැහැ කියලා තර්ක කළත් දීලා තිබෙනවා. මතට තිත ප‍්‍රතිපත්තිය ගමට ගෙනයාමට සිටින තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරු බාර්කාරයෝ වෙන්නේ කොහොමද ? ආණ්ඩුවේම මැති ඇමතිවරු මතට තිත කියමින් රටේ හැමතැනම බාර් අරිනවා. ගමේ කාන්තාවන් තුළ තිබෙන්නේ මත්පැන් යනු ගෙදර ස්වාමියා දරුවනුත් විනාශවන දෙයක් හැටියටයි. එනිසා බොන එක කවුරු හෝ නතර කරනවා නම් හොඳයි යැයි ඔවුන් සිතනවා. එම අදහස තමයි මහින්ද රාජපක්‍ෂ තමන්ගේ වාසියට යොදාගෙන තිබෙන්නේ. ඔහු කියනවා මතට තිත කියලා.


තමන්ගේ මන්තී‍්‍රවරු ඇමතිවරු ඉස්කාගාර අයිතිකාරයෝ. වයඹ ස්කාගාරය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ. හිඟුරාන ස්කාගාරය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරාගේ. කුරුණෑගල බාර්වලින් බාගයක් අයිති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට. ඉතිරි බාගය අයිති ජයරත්න හේරත්ට. කඩුවෙල බාර් අයිති බුද්ධදාසට. ඇල්පිටිය බාර් මුතුහෙට්ටිගේ. බාර්, ඉස්කාගාර, කරන්නේ ඒ ගොල්ලෝ. එහෙම කරමින් අපි එකක් වත් දීලා නැහැ කියනවා. ආණ්ඩුව මතට තිත කියමින් මේ කරන්නේ ව්‍යාජයක්. මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේත් මත්පැන් ව්‍යාප්තියෙත් ප‍්‍රමුඛත්වය ගෙන තිබෙන්නේ මේ ආණ්ඩුවයි. අපිට ඔප්පු කරන්න උවමනා වූණේ එයයි. ඒ නිසා අපි බාර් හිමිකරුවන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඩලස්ට අපි අභියෝග කරන්නේ එයයි. මත්පැන් ව්‍යාප්තියේ ප‍්‍රධාන ධාරාව ආණ්ඩුව නෙවෙයිද? බාර් අයිතිකාරයෝ ආණ්ඩුවේ අය නෙවෙයිද? පැල්වත්ත සීනි සමාගමෙන් ස්ප‍්‍රීත්තු ගන්නේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු නෙවෙයිද?



Post a Comment