ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වුණත් කාබන් විමෝචනය සෑහෙන්න අඩුයි

ලෝක පරිසරයේ සෞඛ්‍ය පිළිබඳව අද විශේෂ අවධානයක් යොමුව ඇති බවත්,දේශගුණික විපර්යාස හමුවේ මතුව ඇති භයානක තත්ත්වය වත්මන්හි හදිසි තත්ත්වයක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එහෙත් අප හමුවේ ඇත්තේ ගෝලීය අභියෝගයක් වන බැවින් එයට සාමූහිකව මුහුණ දිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ අද(23) නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති දේශගුණ සමුළුවේදීය.


සමානාත්මතාව සහ පොදු එහෙත් එකිනෙකට වෙනස් වගකීම් හා අදාළ හැකියාවන් පිළිබඳ මූලධර්ම අපගේ විසඳුම් සෙවීමේ ගමන් මගට මගපෙන්විය යුතු බවද ඔහු සඳහන් කළේය.


දියුණු රටවල්,දියුණු වෙමින් පවතින රටවලට ඇති තම කැපවීම,මූල්‍යමය සහයෝගය,තාක්ෂණික සංවර්ධනය හා හුවමාරුව සහ ධාරිතාවන් වර්ධනය මගින් විදහා දැක්විය යුතු බව රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නේය.


අදාළ ප්‍රඥ්ඥප්ති සඳහා පක්ෂපාති සියලුම කණ්ඩායම් ජාතික දායකත්වයන් සඳහාවූ දේශීය සූදානම්වීම ඉක්මන් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.


ශ්‍රී ලංකාව 1993දී එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රඥ්ඥප්ති රාමුව අනුමත කළ අතර 2002 දී කියුතෝ කෙටුම්පතටද එකඟවූ බව ජනාධිපතිවරයා මෙදින සිහිපත් කළේය.


රාජ්‍ය ප්‍රතිපත්තීන් රාමුව වන මහින්ද චින්තනය තුළ දේශගුණ විපර්යාසයන් සඳහා වන ක්‍රමෝපායන් අන්තර්ගත කොට ඇති බවත්,ඒ අතර වනාන්තර ගහණය වැඩි කිරීම,ජාතික විදුලිබල පද්ධතියට ගතානුගතික නොවන පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය වැඩිකිරීම,මෝයන්-කළපු,කඩොලාන-ලුණු වගුරු බිම්-වැලිවැටි-මුහුදු වෙරළ සහ තෘණ බිම් මුහුදු වෙරළ සංරක්ෂණය සඳහා ප්‍රතිසංස්කරණය කිරීම සහ නැවත ස්ථාපනය කිරීමට පවත්නා බව ඔහු කියා සිටියේය.


ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම පසුගිය වසර අට තුළ තුන් ගුණයකින් වැඩිවී තිබුණත් , ඒක පුද්ගල කාබන් විමෝචනය මෙට්‍රික් ටොන් 1ටත් වඩා අඩු බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment