බස්වල බලෙන් ස්ටිකර් අලවලා - ඩිෆෙන්ඩර් වලින් ඇවිත් හාලිඇළ පහරදෙනවා - කැෆේ මැ.කොට කියයි

මොණරාගල දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇති පුද්ගලික බස් රථ 60ක් හෝ එයට වැඩි සංඛ්‍යාවක නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය (ස්ටිකර් සහ පෝස්ටර්) දකින්නට ඇතැයි පවසමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය අද (03) මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර තිබේ.

ස්ටිකර් අලවා ඇති බස්රථ ගණනාවක අංක ද කැෆේ සංවිධානය විසින් සිය පැමිණිල්ල මගින් පොලිසියට සහ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන්ට ද ලබා දී ඇත.


සැප්. 2 දින සවස 3.30 ට පමණ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් බදුල්ල එජාප අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සහ හාලි ඇල එජාප සංවිධායක ජයන්ත කන්නන්ගරගේ ආධාරකරුවෙකු වන මෙහොමඩ් අජ්මාල් ට පහර දී තිබේ.


ප්‍රහාරයෙන් තුවාල ලැබූ අජ්මාල් මහතා මේ වන විට බදුල්ල මහ රෝහලේ 8 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.


රියදුරන් හා කොන්දොස්තරවරුන් පවසන්නේ මෙම ස්ටිකර් තම බස්රථ වල බලහත්කාරයෙන් අලවන ලද බව යැයිද කැෆේ කියයි.


පොදු ප්‍රවාහන සේවාවන් හි මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් ප්‍රදර්ශනය පළාත් සභා ඡන්ද විමසීමේ පනතේ විධි විධාන පමණක් නොව මෝටර් රථ පනතේ විධි විධාන ද උල්ලංඝණය කිරීමකි.


මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කයන් හි ප්‍රධාන බස් නැවතුම් පොළ සහ කුඩා බස් නැවතුම් පොළවල් මේ වන විට නීති විරෝධී ප්‍රචාරක ද්‍රව්‍යයන්ගෙන් වැසී පවතින බව කැෆේ කියයි.


මෙම ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පොලීසිය වෙත මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් විශාල මුදලක් වෙන් කොට ඇති නමුත් මෙම ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කර නොමැති බව එම සංවිධානය පවසයි.


මෙවර මැතිවරණයේ දී පැමිණිලි 178 ක් ලැබී ඇතැයි ද කැෆේ කියයි.


එයින් පහරදීම් හා දේපළ අලාභ හානී කිරීම් 46 ක්ද ඇතුළත් පැමිණිලි 129 ක් ලැබී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් බවද මැතිවරණ නීති උල්ලංඝණය පිළිබඳ බදුල්ලෙන් පැමිණිලි 32 ක්ද මොණරාගලින් පැමිණිලි 83 ක්ද ලැබී ඇති බව කැෆේ සංවිධානය පවසයි.


ඡායා රූ - කැෆේ සංවිධානය



Post a Comment