බෙන්තර ගඟට බිලි වූ දුම්රිය සේවකයා වෙනුවෙන් ජනපතිගෙන් සහනයක් ඕනෑ

දුම්රිය ගේට්ටු රාජකාරීයේ නිරතව සිටියදී ඊයේ උදෑසන බෙන්තර ගඟට බිලි වූ ආදේශක දුම්රිය සේවකයා වෙනුවෙන් ඔහුගේ පවුලට උපරිම දීමනාවක් ලබාදීමට මැදිහත් වන ලෙස සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ජනාධිපතිරයාගෙන් ඉල්ලීමක් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.


ජනාධිපතිවරයා‍ වෙත යැවූ ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.


අතිගරු ජනාධිපති,

මහින්ද රාජපක්‍ෂ මැතිතුමා,

අරලියගහ මන්දිරය,

කොළඹ 03.


බෙන්තර ගඟට බිලි වූ ආදේශක දුම්රිය සේවකයා වෙනුවෙන් උපරිම දීමනාවක් ලබා දෙන්න.


මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම දුම්රිය ස්ථානයට අනුයුක්තව, ගාලූ පාරේ අංක 02 ගේට්ටුවේ සේවය කරමින් සිටි පී.එල්.එම්. අනුරාධ මහතා, 2014.09.02 දින පාන්දර 05.05 ත් 05.45 ත් අතර කාලය තුළ බෙන්තර ගඟට වැටී මිය ගොස් ඇත.


අනුරාධ මහතා ස්ථිර සේවකයකු නොවන අතර වසර පහක පමණ කාලයක් ආදේශක සේවකයකු ලෙස සේවා ස්ථාන ගණනාවක සේවය කර ඇත. අලුත්ගම අංක 02 ගේට්ටුවේ රාජකාරියේ යෙදවිය යුත්තේ ස්ථිර සේවයේ සේවකයකු වුවත්, ස්ථිර සේවකයින්ගේ පුරප්පාඩු විශාල ප‍්‍රමාණයක් පවතින නිසා ආදේශක සේවකයින් ස්ථිර කර නොමැති තත්ත්වයක් තුළ වුවත්, රාජකාරියේ පවතින වගකීම් සහිත බව නොසලකා දුම්රිය ධාවනය කිරීමේ අරමුණින් ආදේශක සේවකයින් වගකීම් රහිතව සේවයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇත.


දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 10,000ට අධික ප‍්‍රමාණයක් පවතී. වසර පහක් ඉක්මවා සේවය කළ ආදේශක සේවකයින් 2800ක් පමණ සිටියත්, ඔවුන් මේ දක්වා ස්ථිර කර නැත. ඔවුන් ස්ථිර කර තිබුණේ නම් ස්ථිර සේවකයකු ලෙස ලැබිය යුතු වරප‍්‍රසාද අනුරාධ මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳට හා යැපෙන්නන්ට ලබාදීමට හැකි වේ. එහෙත් දැන් එය කළ නොහැක්කේ අනුරාධ මහතා ස්ථිර සේවකයකු නොවන බැවිනි. කරුණු එසේ වුවත්, අනුරාධ මහතා මරණයට පත් වූයේ ඔහුට පැවරී තිබූ රාජකාරිය ඉටු කරමින් සිටින අවස්ථාවක ය. එසේ වුවත් අනුරාධ මහතාට අග‍්‍රහාර රක්‍ෂණ වන්දි ප‍්‍රතිලාභ නැත. හදිසි අනතුරු වන්දි නැත. විශ‍්‍රාම වැටුපකට හිමිකම් ලබා නැත. වෙනත් අනුමත දීමනා කිසිවක් නැත. රාජකාරිය ඉටු කිරීමට ගොස් අනුරාධ මහතා මරණයට පත්වූයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අඩුවක් නිසා ය.


මේ කරුණු සියල්ල සලකා බලා,


01. ස්ථිර සේවකයකුට හිමිකම් ඇති දීමනා අනුරාධ මහතාට ගෙවිය නොහැකි නම්, ඊට සමාන වන පරිදි දීමනාවක් ඔහුගේ බිරිඳට හා දරුවනට ලබා දීමටත්,


02. දුම්රිය සේවකයින් සේවය කරන ස්ථානවල පවතින අඩුපාඩුකම් සම්පූර්ණ කර සේවයේ යෙදීමට හිතකර වන ලෙස එම ස්ථාන සකස් කර දීමටත් ඔබතුමාගේ අවධානය යොමු කරවන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.


මෙයට විශ්වාසී,

එස්.පී. විතානගේ

ප‍්‍රධාන ලේකම්



Post a Comment