පොලිස්පති අද මොණරාගලට

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව මොණරාගල දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පොලිස්පතිවරයා අද(13) දිනයේ එම දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කය තුළ මැතිවරන නීති උල්ලංඝණය වීමේ සිද්ධීන් බහුලව වාර්තාවීම හේතුවෙන් එම දිස්ත්‍රික්කය සඳහා අතිරේක ආරක්ෂාවක් ලබා දීමට මේවනවිට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.


අදාළ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීම සඳහා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අද දිනයේ මොණරාගල දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.


මේ අතර ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ඊයේ දිනයෙන් අවසන් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේය.


ඒ අනුව සියයට 90 ක් පමණ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බව වාර්තා වෙයි.


නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වලට නොලැබුණු කෙනෙක් වෙතොත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් එම පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Post a Comment