ගිණුම් දත්ත දෙන්න බැංකුව ශිරාණිගෙන් අමෙරිකානු ඩොලර් 472,200ක් ඉල්ලයි

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ වත්කම් හා බැරකම් නඩුවට අදාළ සාක්ෂි වශයෙන් දත්ත ලබාදීමට නම් අමෙරිකානු ඩොලර් 472,200ක් අවශ්‍ය බව අදාළ බැංකුව අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවසා තිබේ.

ඒ පිළිබඳ නඩුව අද කැඳවු අවස්ථාවේ දී බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස් උදයකුමාර සඳහන් කළේය.


අදාළ දත්ත ලබාදීමට නම් පරිගණක මෙහෙයුමක් කිරීමට අවශ්‍ය බැවින් හිටපු අග්‍රවිනිශ්චයකාරවරියට එම මුදල ගෙවීමට හැකි නම් දත්ත ලබාදිය හැකි බව බැංකුව පාර්ශවයෙන් දැනුම් දී තිබේ.


එහිදී හිටපු අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පවසා ඇත්තේ උසාවි නියෝගයක් දුන් පසු එම නියෝගය ඉටුකිරීමට බැංකුව බැඳී සිටින බැවින් ඊට අවනතව තොරතුරු ලබාදිය යුතු බවයි.


කෙසේ හෝ මේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා මහබැංකුවේ පුද්ගලික බැංකු කටයුතු ඒකකයේ අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇත්තේ මේ පිළිබඳව සොයාබලා නොවැම්බර් 3දාට කරුණු දක්වන ලෙස බව ද අප වාර්තාකරු පැවසීය.


හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ අදාළ පෞද්ගලික බැංකුවේ පවත්වාගෙන ගිය විශේෂ ජංගම ගිණුම් දෙකක තොරතුරු අවුරුදු තුනක් තිස්සේ වසන් කළ බව කියන සිද්ධියට අදාළව මෙම නඩු විභාගය පැවැත්වෙයි.


ඒ ඇයගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ 2010,2011,හා 2012 යන වර්ෂ සඳහා එම බැංකුවේ පවත්වාගෙන ගිය ජංගම ගිණුම් දෙකක තොරතුරු ඇතුළත් නොකර ඇති බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ නඩු පැවරීම නිසාය.



Post a Comment