G.M.O.A නවීන්ද සොයිසාට උසාවි නියෝගයක්

උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ගොණු කරන ලද පැමිණිල්ලට අදාළව ලබන මාර්තු මස 02 වන දින වන විට වගඋත්තර බඳින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුරාධපුර දිසා අධිකරණය නියෝග කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා විසින් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්තිනාමයට හානි සිදුවු බව පවසමින් පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා මෙම නඩුව පවරා තිබුණි.


පසුගිය මාර්තු මස 17 වන දින අනුරාධපුර ශීක්ෂණ රෝහලේ පැවති මාධ්‍ය හමුවක දී උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුකළ එම ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වු බව පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.


එම ප්‍රකාශය තුළින් මහජන නියෝජිතයෙකු වන අමාත්‍යවරයාගේ ප්‍රතිරූපයට සහ එදිනෙදා කටයුතු වලට දැඩි හානියක් සිදුවු බව නීතිඥවරයා පැවසුවේය.


මේ හේතුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් පැමිණිලිකාර පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත විත්තිකරුගෙන් අයකර දීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


කරුණු සැළකිල්ලට ගත් අනුරාධපුර දිසා විනිසුරු ඉන්දික රත්නායක මහතා ඊට අදාළව වගඋත්තර බඳින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතාට දැනුම් දී තිබේ.



Post a Comment