ගාල්ල - කොළඹ පාර පැය කිහිපයකට වැහෙයි

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය ගාල්ල පොලිසිය අසළ ප්‍රදේශයෙන් අද රාත්‍රී පැය කිහිපයක කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලිසිය පවසයි.

ගාල්ල, කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


පෙරහැර වීථී සංචාරය අවසන් වන තෙක් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය රාත්‍රි 07.30 සිට තාවකාලිකව වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කරයි.


ඒ අනුව කොළඹ සිට මාතර දෙසට ගමන් ගන්නා රථ වාහන ගාල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයෙන් වක්වැල්ල මාර්ගය ඔස්සේ දිවුල්ගහ හන්දියට පැමිණ එම හන්දියෙන් බෙලිගහ හන්දියට ගොස් දකුණට හැරී දංගෙදර හරහා ගොස් සම්බෝධි හන්දියට පිවිස ගාල්ල ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය.


මාතර සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථ වාහන ගාල්ල වරාය සම්බෝධිය හන්දියෙන් දකුණට හැරී උඩුගම මාර්ගයේ මකුළුය හන්දියට පැමිණ සර්කියුලර් පාර ඔස්සේ මිනුම්ගොඩට පැමිණ මිනුම්ගොඩ හන්දියෙන් වමට හැරි වක්වැල්ල මාර්ගයෙන් ගාල්ල නගරයට පිවිසිය හැකි බව පොලිසිය පවසයි.



Post a Comment