අධ්‍යාපනය ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටිනවා

අනාගත සැලැස්මක් අනුව රටේ අධ්‍යාපනය ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පාසල් 03ක ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර අද(11) පෙරවරුවේ සිසු අයිතියට පවරා දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.


පළමුව සිසු අයිතියට පැවරූ කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාර අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ ඉදිකර ඇති අතර එය පරිගණකාගාරයකින්, භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ රක්කකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් ද සමන්විතය.


මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහසක් රට පුරා පාසල්වල ඉදිකිරිමේ අපේක්ෂාව වන්නේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම හා භාෂා හැකියාවන් ඉහළ නැංවිම බවත්, මෙරට දරුවන් රටත් ලෝකයත් ජයගතහැකි දරු පිරිසක් ලෙස ගොඩනැගිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදි පවසා තිබේ.


එමෙන්ම ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය පහසුකම් රජය සලසා ඇති බවත්,අතීතයේ රටේ එක් පන්තියකට සීමා වී තිබු අධ්‍යාපන වරප්‍රසාද ගමේ පාසල් වල දරුවන්ට ද ලබාදෙමින් ඔවුන් අධ්‍යාපනයෙන් ඉහළට ඔසවා තැබීමටත් රජය කටයුතු කර ඇති බවයි.


අනතුරුව කුලියාපිටිය බරාගෙදර අනගාරික ධර්මපාල මහා විද්‍යාලයේ විද්‍යාගාරයත් පසුව බිංගිරිය ශ්‍රි සරණංකර ජාතික පාසලේ විද්‍යාගාරයත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණි .



Post a Comment