සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ මෙම වර්ජනය සාධාරණ බැවින් ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරීන්ට යුතු කමක් ඇති බැවින් ඊට තම සංගමය ද පූර්ණ සහය දෙන බවයි.
එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
දුම්රිය වැඩ වර්ජනය සාධාරණයි - පුර්ණ සහය ලබා දෙනවා
දුම්රිය නියාමක දුම්රිය ස්ථානාධිපති, දුම්රිය රියදුරු, දුම්රිය අධීක්‍ෂණ කළමනාකරුවන් ඇතුළු ශ්‍රේණි 10 ක වෘත්තීය සමිති එකතු වී ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ලෙස 08 වෙනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය සඳහා පදනම් වී ඇති ඉල්ලීම් සාධාරණ ඉල්ලීම් වන බැවින් අප සංගමය ද ඊට පුර්ණ සහය ප‍්‍රකාශකර සිටිමු.
වැඩ වර්ජනය නිසා මේ වන විට සාමාන්‍ය දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති අතර ආණ්ඩුවේ වෘත්තීය සමිතියේ නායකයින් කිහිපදෙනෙක් යොදාගෙන දුම්රිය ධාවනය කරවීමේ අසාර්ථක උත්සාහයක ප‍්‍රවාහන අමාත්‍යංශය හා දුම්රිය බලධාරීන් කටයුතු යොදමින් සිටී. සාධාරණ ඉල්ලීම් පදනම් කර ගනිමින් සිදුකරන වැඩවර්ජණ කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙක් මැදිහත් වී කරන පාවාදීම් දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකිමු.
දුම්රිය නියාමකවරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් හා මාර්ග නඩත්තු අංශවල අධීක්‍ෂණ කළමනාකරුවන් වැඩ වර්ජනයට සහභාගි වී සිටින තත්ත්වයක් තුළ වගකීමකින් තොරව දුම්රිය ධාවනය කරවීම නිසා දුම්රියවලටත්, මගීන්ටත් ඇතිවිය හැකි අවදානම් හා අනතුරුදායක තත්ත්වයන්ට සම්පූර්ණ වගකීම දුම්රිය බලධාරීන් හා ප‍්‍රවාහන අමාත්‍යංශයත්, ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයිනුත් බාරගත යුතුය.
මතු වී ඇති සේවක ගැටලූවලට විසඳුම් ලබාගැනීම සඳහා අවස්ථා ගණනාවකදීම බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද ඒවාට විසඳුම් ලබාදීමට කිසිදු බලධාරීයෙකු මේ වනවිටත් කටයුතු කර නැත. දුම්රිය බලධාරීන් හා ප‍්‍රවාහන අමාත්‍යංශයත් ආණ්ඩුවත් කළ යුතුව ඇත්තේ අදාළ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීම මිස ආණ්ඩුවේ වෘත්තිය සමිති හෝ වෙනත් බලයක් යොදවාගෙන දුම්රියටත්, දුම්රිය මගින්ටත් අවදානම් හා අනතුරුදායක වන ක‍්‍රියාමාර්ග ගැනීම නොවන බව ද පෙන්වා දෙමු.
06/2006 වැටුප් චක‍්‍රලේඛය මගින් නිර්මාණය වී ඇති වැටුප් විෂමතාව ඉවත්කර ගැනීම මෙම වැඩ වර්ජනයේ ප‍්‍රධාන අරමුණ වන අතර, ඊට විසඳුම් ලබාදීම තව දුරටත් ප‍්‍රමාද කරන්නේ නම් අනිකුත් වැඩ බිම්වල සේවකයින් ද ඊට එක්කරමින් අප සංගමය ද වැඩ වර්ජනයට සහයෝගය ලබාදීම සඳහා එක්වන බව ද අවධාරණයෙන් යුතුව පෙන්වා දෙමු.
එස්.පී. විතානගේ
සභාපති
2014. 10. 10
මේ අතර දුම්රිය සේවකයින් දියත් කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
දුම්රිය වෘත්තිය සමිති සහ බලධාරින් අතර අද පෙරවරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
වර්ජනය සම්බන්ධයෙන් ඊයේ දහවල පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය තවදුරටත් පවත්වාගෙන යාමට වෘත්තිය තීරණය කර තිබේ.
මේ අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද දිනයේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට එක්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

Post a Comment