ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම දුන්නා - ධූරයේ උපරිම වගකීම් ඉටුකළා

සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට පහරදුන් දිනයේම බාරදුන් බව බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතා පවසයි.

ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉකුත් අමෙරිකානු සංචාරය අතරතුරදී බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතාට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් සිදුකළැයි කියන පහරදීම සම්බන්ධයෙන් ඔහු විසින් එදිනම සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී නැවත ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය බව අද දෙරණ කළ විමසීමකදී වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සඳහන් කර සිටියේය.


තවද තමන්ගේ රට හා රටේ ජනතාව වෙනුවෙන් සිය ධූරයේ උපරිම වගකීම් ඉටුකර ඇති බවද වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා විසින් වැඩිදුරටත් සඳහන් කළේය.


එසේම පසුගියදා පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනමුදීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියක් බාර නොදුන් බවයි.


කෙසේ හෝ මාධ්‍ය ලෝකය තුළ පසුගිය දින කිහිපයේදී වැඩිලෙස කතා බහට ලක්වූ මෙම මාතෘකාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහා විමර්ශනයක් කරන ලෙසට දැනුම්දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී පැවසුවේය..


මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට විදේශ අමාත්‍යංශයට ජනාධිපතිවරයා එසේ උපදෙස් දී ඇත්තේ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ආරාධනා කිරීමට වතිකානුවට ගොස් සිටින අතරතුරේදීය.


එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ධූත පිරිසක් අමෙරිකාවට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය වාර්තා විය.



Post a Comment