ඊයේ (12) රාත්‍රියේ ආරච්චිකට්ටුව - අඩිප්පල,ලියන්කැලේ ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇති හලාවත පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ පොලිස් පරීක්ෂක ප්‍රභාත් බන්දුල දිසානායක සහ පොලිස් සැරයන් 31644 ප්‍රසන්න යන නිලධාරීන් දෙදෙනා මේ වන විට හලාවත මහා රෝහලේප්‍රතිකාර ලබමින් සිටිති.
පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක්වූ බව කියන අඩිප්පල - වෙලන්කැලේ පදිංචි සෝමසුන්දරම් සහ ක්‍රිෂ්ණකුමාර යන දෙදෙනා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
හලාවත පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආරච්චිකට්ටුව - අඩිප්පල ප්‍රදේශයේ සිදු කරන කසිප්පු අලෙවි කරන ස්ථාන වැටලීමට ගොස් ඇත.
එහිදී එක් නිවසක් තුළට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා සහ එම නිවසේ හිමියන් අතර වචන හුවමාරුවක් ඇතිවී ඇති අතර පොලීසියෙන් යැයි පවසමින් නිවසට ඇතුළු වූ දෙදෙනා තමන්ට පහර දුන් බව රෝහල් ගත කර සිටින අඩිප්පල පදිංචිකරුවෝ දෙදෙනා කියති.
අවසානයේදී එම ස්ථානයට එක්වී ඇති ගම්වාසීන් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඔවුන්ව ගස් බැඳ ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.
පසුව මේ බව දැන ගෙන ඇති හලාවත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ගම්වැසියන් සමග සාකච්ඡා කර ගස් බැඳ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මුදා ගෙන ඇත.
එසේම පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බව කියන දෙදෙනාද පොලීසිය විසින්ම කැඳවාගෙන විත් මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. මේ සම්බන්ධයෙන් හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Post a Comment