නි.ඇමති රාධක්‍රිෂ්ණන්ට මල්වතු අස්ගිරි නාහිමිවරුගෙන් දේශනාවක්

මැතිවරණවලට ඉදිරිපත් වන පුද්ගලයින් හෝ ජයග්‍රහණය කරන පුද්ගලයින් වැදගත් නොමැති බවත් වැදගත් වන්නේ රටේ දියුණුව පිළිබඳව සිතා කටයුතු කරන පුද්ගලයින් පමණක් බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහනාහිමියෝ පවසති.

මැතිවරණ පිළිබඳ කතා කිරීමට මහා සංඝරත්නයට අවශ්‍යතාවක් නොමැති අතර එය තමන්ට අයිති කරුණක් නොවන බව ද උන්වහන්සේ සඳහන් කරයි.


උද්භිද උද්‍යාන හා පොදුවිනෝදාත්මක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වී.එස්.රාධක්‍රිෂ්ණන් මහතා අද පෙරවරුවේ අස්ගිරි මහ විහාරය වෙත ගොස් මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.


එම අවස්ථාවේ දී උන්වහන්සේ මෙම අදහස් පළකර ඇති බව සඳහන්ය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මහනාහිමියන් පවසා ඇත්තේ රටේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන රටේ දියුණුවට වැඩ කරන පුද්ගලයින්ට මහ සංඝරත්නයේ ආශිර්වාදය නිරන්තරයෙන් හිමිවන බවයි.


මේ අතර නියෝජ්‍ය අමාත්‍ය වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා මල්වතු මහ විහාරයේ දී මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.


මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ආශිර්වාද කරමින් මල්වතු මහනාහිමි පවසා ඇත්තේ වර්තමානයේ බොහෝ දේශපාලනඥයින් තමන් ගැන පමණක් සිතා කටයුතු කරන පිරිසක් බවයි.



Post a Comment