වාරියපොල සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් තමන් අත්අඩංගුවට ගෙන කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රඳවා ගැනීමට එරෙහිව අදාළ තරුණිය විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ කටයුතු සිදුකළ වාරියපොළ පොලීසිය තමාගෙන් පහරකෑමට ලක්වුණු පුද්ගලයාට පක්ෂපාතීව පරීක්ෂණ කටයුතු සිදුකළ බවට චෝදනා කරන පෙත්සම්කාරිය එමගින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙහිදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා මෙම සිද්ධියට අදාළව කරුණු දැක්වීමට තව දුරටත් කාලය අවශ්‍ය බව අධිකරණයට දැන්වීම හේතුවෙන් එම ඉල්ලීම පිළිගැනීමෙන් පසු අදාළ පෙත්සම යළි ජනවාරි මස 19 වන දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මේ අතර පොලිස් නිලධාරියෙකු විසින් තමන්ට ප්‍රසිද්ධියේ අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් රත්නපුර ප්‍රදේශයේ කාන්තාවක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබිණි.
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සමට පහරදුන් පොලිස් නිලධාරියාගේ නම ඇතුළත් කළ යුතුව ඇති බවයි.
එම නිසා එම නමද ඇතුළත්ව පෙත්සම සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙස පැමිණිල්ලේ නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එළඹෙන දෙසැම්බර් මස 18 වන දින යළි පෙත්සම කැඳවන බැවින් එදිනට සංශෝධන සහිත පෙත්සම ඉදිරිපත් කරන ලෙස දැන්වූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

Post a Comment