ෆොන්සේකාගේ නම ඡන්ද නාමලේඛනයෙන් හළයි

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නම 2014 ඡන්ද නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමසාරිස්‌වරයාට උපදෙස්‌ දී තිබේ.

අප කළ විමසුමකදී අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා මේ බව තහවුරු කළේය.


මේ අතර සරත් ෆොන්සේකා මහතා විසින් මේ පිළිබඳව කරුණු අනාවරණය කිරීම සඳහා මේවන විට ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා ඇත.


තතු එසේ වුවද සරත් ෆොන්සේකා මහතා පසුගියවර පැවැති බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේදී සිය ඡන්දය ද ප්‍රකාශ කළේය.


ඒ ඔහුගේ නම කැස්බෑව ඡන්ද කොට්ඨාසයේ ලියාපදිංචිවීම හේතුවෙනි.


ඒ අනූව 2013 ඡන්දහිමි නාමලේඛනයේ ඔහුගේ නම සඳහන්වීම නිසා පසුගිය බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේ දී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවිය.


අධිකරණය මගින් සිරදඬුවම් නියම වූ ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය ද අහෝසි ව තිබියදී පළාත් සභා මැතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කිරීම ගැන ඒ මහතා මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත පැමිණිල්ලක්‌ද කර තිබිණ.


ඒ අනූව මැතිවරණ කොමසාරිස්‌වරයා ඒ ගැන නීතිපති උපදෙස් පැතීය.


ඊට ප්‍රතිචාර වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් උපදෙස්‌ දී ඇත්තේ සරත් ෆොන්සේකා මහතාගේ නම 2014 ඡන්දය හිමි නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙසටය.


මේ අතර 2014 ඡන්ද නාම ලේඛනයෙන් සරත් ෆොන්සේකා මහතාගේ නම ඉවත් කරන බවට මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ෆොන්සේකා මහතා වෙත පිළියන්දල ප්‍රදේශයේ ලිපිනයකට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක්‌ යවා ඇතැයිද වාර්තා වේ.



Post a Comment