දෙරණ 9 වැනි සංවත්සරයට සමගාමිව ආරම්භ කළ “දෙරණෙ දරුවෝ” මාපිය කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන ගැන දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (12) පෙරවරු 10.00සිට රාත්‍රී 7.00 දක්වා ටී.වී දෙරණ ඔස්සේ විකාශය කෙරිණ.
එම වැඩසටහන හා සම්බන්ධ වූ බොහෝ දෙනෙකු එහි වටිනාකම අගයමින් අදහස් දැක්වූ අතර එසේ කතා කළ බොහෝ දෙනෙක් එම උදාර කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහය වචනයෙන් පමණක් නොව දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් ධනයෙන්ද ලබාදීමට අපට පොරොන්දු විය.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දෙරණ මාධ්‍ය ජාලයේ අරමුණ වූයේ වකුගඩු රෝගීන්ගේ ළමුන් 500 දෙනෙකු උදෙසා මාපිය කැපකරු ශිෂ්‍යත්වයට දායකවීමට අවස්ථාව ලබාදීමයි.
එසේ වුවද අපගේ ප්‍රයත්නය වඩ වඩාත් සාර්ථක කර ගැනීම සඳහා ඊයේ පැවැති වැඩසටහනට දුරකථන ඇමතුම් 3500ට අධික සංඛ්‍යාවක් ලැබුණි.
වැල නොකැඩී ආ දුරකථන ඇමතුම් මගින් එය අපට මොනවට පැහැදිළි විය.
එම ඇමතුම් ලබාදුන් අය අතරින් 3500 දෙනෙකුට “දෙරණෙ දරුවෝ” මාපිය කැපකරු ශිෂ්‍යත්ව අරමුදලට සම්බන්ධ වීමට මේ යටෙත් ඉඩ ප්‍රස්ථාව හිමිවිය.
ඒ අනූව වකුගඩු රෝගයෙන් පෙළෙන මව්පියන්ගේ දරුවෙකු වෙනුවෙන් මාසිකව රුපියල් 1500 බැගින් අවුරුදු 5ක් දක්වා ලබාදෙමින් එම දරුවාගේ හෝ දැරියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහය ලබාදීම මනුසත් හදවත් ඇති අපගේ සහෘද ජනතාවට හිමිය.
එම මුදල් දෙරණ මාධ්‍ය ආයතනය විසින් කිසිවිටෙකත් ලබානොගන්නා අතරම සෘජුවම වකුගඩු රෝගීන්ගේ ළමුන් වෙනුවෙන් ඔවුන්ගේ බැංකු ගිණුම් අංකයකට තැන්පත් කිරීමට අවස්ථාව ලබාදීම මෙම වැඩසටහනේ ඇති විනිවිද භාවයයි.
ඒ අනූව වකුගඩු රෝගයෙන් අනන්තවත් බැටකන අපේ සහෝදර ජනතාවගේ දුවා දරුවාගේ අනාගතය නැමැති අධ්‍යාපනය නම් මිණිපහන දල්වා ගැනීමට වචනයෙන් මෙන්ම මුදලින් ද දායකවීමට කැමැත්ත පළ කළ ඒ ආදරණීය ජනතාවට මෙම මතක් කිරීම උපහාරයක් වේවායි දෙරණ මාධ්‍ය ජාලය ප්‍රාර්ථනා කරයි.

Post a Comment