අඩි 30ක ගැඹුරු ළිඳකට වැටුණු දැරිය මරණයෙන් බේරාගත් හැටි

මුලතිව් ,කේප්පපිළාරු ප‍්‍රදේශයේ නිවසක අඩි 30ක අනාරක්ෂිත ළිඳකට වැටී මරණයත් සමග පොරබදිමින් සිටි වයස අවුරුදු එකයි මාස දෙකක් වයසැති කුඩා දැරියකගේ ජීවිතය බේරාගැනීමට මුලතිව් 59 වැනි සේනාංකයේ රණවිරුවන් පිරිසක් සමත් වී තිබේ.

මුලතිව් 59 සේනාංකයේ යුද හමුදා සෙබළුන් විසින් මෙලෙස බේරාගනු ලැබුවේ මුලතිව්, කේප්පපිළාරු ග‍්‍රාමයේ පදිංචි අවුරුදු එකයි මාස 2ක් වයසැති ප‍්‍රසාදිනි ජනිස්කර් නැමැති දැරියකි.


මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් 59 වැනි සේනාංකයේ සෙබළුන් පිරිසක් කේප්පපිළාරු ගම්මානයේ යුද හමුදාව විසින් නැවත පදිංචි ජනතාව වෙත නිවාස ඉදිකරලීමේ ක‍්‍රියාවලියක නිරතව සිටියදී පෙරේදා පස්වරු 01. 30 පමණ යාබද නිවසකින් ඇසුණු කාන්තාවකගේ කෑගැසීමත් සමග ඒ දෙසට දිවගිය රණවිරුවන් අනාරක්ෂිත ළිඳට වැටී සිටි දැරිය දැක තිබේ.


අනාරක්ෂිත ළිඳ ආසන්නයට ගිය 59 සේනාංකයේ රණවිරුවන් එහි ඒකක අණදෙන නිලධාරී ලූතිතන් එච්.ආර්.එම් සංජීව මහතාගේ උපදෙස්මත සැරයන් ඩබ්.ඒ.එන්.පී. විජේසිංහ රණවිරුවා විසින් අවස්ථානූකුලව කඩිනමින් එම ස්ථානයේ සිටි බරින් අඩුම සෙබලා සොයා කඹයක ආධාරයෙන් ළිඳට බස්සවා ජලයේ ගිලෙමින් සිටි දැරිය බේරාගෙන දැරියට අවශ්‍ය ප‍්‍රථමාධාර ලබාදීමට සමත්ව ඇත.


ළිදෙන් බේරාගනු ලැබූ කුඩා දැරිය වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මුලතිව් මහ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.


කුඩා දැරිය මවගෙන් මිදී මෙම අනතුරට මුහුණ පා ඇති බව අප වාර්තාකරු කීවේය.


කෙසේ ‍හෝ මුලතිව් ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා විසින් මුලතිව් 59 සේනාංකයේ ලූතිතන් එච්.ආර්.එම් සංජීව මහතාගේ ඒකකය වෙත හා එම දැරිය බේරාගැනීම සඳහා කටයුතු කළ යුද හමුදා රණවිරුවන්ගේ සේවය පැසසුමට ලක් කළේය.


ඉහත මෙම සිද්ධියට අදාළ ජායා රූප පෙළකි.


ඡායා රූ - මාධව කුලසූරිය



Post a Comment