බඳගිරියෙන් ඉපැරණි කාසි 281ක් හමුවෙයි - සියල්ලට මූද්‍රා තබයි

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බඳගිරිය මාර්ගය ප‍්‍රතිසංස්කරණ කටයුතු අතරතුර දී ඉපැරණි කාසි 241 ක් හමු වී ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම ස්ථානය දකුණු පළාත් පුරාවිද්‍යා නිලධාරීන් විසින් කඩිනමින් පරීක්‍ෂා කර අදාළ කාසි 241ක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.


බඳගිරිය මාර්ග සංවර්ධන කටයුතුවල නිරත පෞද්ගලික සමාගමකට පසුගිය සැප්තැම්බර් 30 වන දින මෙම කාසි හමු වී ඇති අතර ඔවුන් විසින් බඳගිරිය කලාප බාර නිලධාරී, පුරාවිද්‍යා පර්යේෂණ සහකාර සුමේධ පණ්ඩිතරත්න මහතාට ඒවා බාර දී ඇත.


එම ස්ථානයේ තිබී ඉපැරණි යුගයට අයත් තඹ කාසි 241 ක් හමු වී ඇති අතර බැකෝ යන්ත‍්‍ර වලින් පස් ඉවත් කිරීමේ දී ඒවා තැන්පත් කර තිබූ මුට්ටිය බිදීගිය බව බැකෝ යන්ත‍්‍ර ක‍්‍රියාකරු විසින් පවසා තිබේ.


ඉන්පසු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන් විසින් එම ස්ථානය නැවත පරීක්‍ෂා කිරීමේ දී තවත් තඹ කාසි 40 ක් හමු වී ඇත.


ඒ අනුව මේ වනවිට හමු වී ඇති මුළු තඹ කාසි ප‍්‍රමාණය 281 කි. ඒවා සියල්ල මුද්‍රා තබා දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ සුරක්‍ෂිතව තැන්පත් කර තිබේ.


හමු වී ඇති කාසි 281 කුමන යුගයට අයත් දැයි නිශ්චිතව නිගමනය කර නොමැති අතර රසායනාගාර පරීක්‍ෂණ වලින් පසු නිවැරදි කාලය හඳුනා ගැනීමට හැකිවනු ඇත.


මෙම ස්ථානයෙන් හමු වී ඇති මැටි බඳුන් සාධක වලට අනුව මෙය බොහෝ විට අනුරාධපුර යුගයට අයත් රෝම කාසි හෝ මධ්‍ය කාලීන තඹ කාසි විය හැකි බව එම ස්ථානය පරීක්‍ෂා කළ නිලධාරීන් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටී.


කාසි හමු වී ඇත්තේ බඳගිරිය පුරාණ විහාරයට මීටර් 500 ක් පමණ නුදුරින් වන නිසා මෙම ස්ථානයේ තවත් පුරාවස්තු තිබේ දැයි පරීක්‍ෂා කිරීමට එම ස්ථානයේ කඩිනමින් පුරාවිද්‍යා කැණීමක් සිදුකිරීමට ද තීරණය කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Post a Comment