හෙටම රුපියල් 250කින් ගෑස් බස්සන්න

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 250කින් අඩු කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (09) කැලණියේදී පැවැති විශ්‍රාමිකයින්ගේ දින සැමරුම් උත්සවයේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි.


ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයට පෙරාතුව චීන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විදුලි ගාස්තු සියයට 25කින් අඩු කරන බව කියා සිටියේය.


විදුලි ගාස්තුවලට අමතරව ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00කින්ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5.00 කින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20 කින්ද අඩු කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.


මේවන විට වෙළඳපොළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2396කි.


ජනපතිගේ නියමයට අනූව නව මිල සංශෝධනය යටතේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2146 දක්වා පහත වැටෙනු ඇත.


අවසන් වරට ගෑස් මිල සංශෝධනය වූයේ 2013 ජනවාරී මස 05 වැනිදාය.


එදින 2013.01.05 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 Kg ලාෆ්ස් හා ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 න් ඉහළ නංවන බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසීය.


ඒ අනුව එතෙක් රුපියල් 2246 ක්ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නව මිල රුපියල් 2396 ක් විය.



Post a Comment