සියාම් ඝාතන නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට බලයක් නැතිද? පෙත්සම සලකා බැලීම 21දා

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට බලයක් නොමැති බව සඳහන් කරමින් ගොණු කර ඇති පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අදාළ පෙත්සම් ලබන 21 වැනිදා සලකා බැලීමට අගවිනිසුරු මොහාන් පිරිස් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.


මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු 07 දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොණු කර තිබුණි.


පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවයි.


එම පනත යටතේ අත්අඩංගුවට ගත් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාගය පැවැත්වීම නීති විරෝධී බව නීතීඥවරුන් සඳහන් කර ඇත.


මේ හේතුවෙන් අදාළ විත්තිකරුවන් එම නඩු විභාගයෙන් නිදහස් කරන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


කරුණු සැළකිල්ලට ගත් අගවිනිසුරු මොහාන් පිරිස් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ලබන 21 වනදා මෙම පෙත්සම් සලකා බැලීමට තීරණය කර ඇත.



Post a Comment