අයවැයෙන් රු.10,000 ක් ඕනෑ

රාජ්‍ය අංශයේ, අර්ධ රාජ්‍ය, පෞද්ගලික සහ වතු ක්ෂේත‍්‍රයේ සියලූ සේවකින්ට එළඹෙන 2015 අය වැයෙන් රු. 10,000 කින් වැටුප් වැඩිකළ යුතු බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ සඳහා ආණ්ඩුවට බලකරමින් දහස් ගණනින් කොළඹට ගෙන්වා උද්ඝෝෂණය කරන බව ඔහු අද (17) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.


රු. 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදීම, දීමනා සියල්ල මූලික වැටුපට එකතු කිරීම, නීති සකස් කර පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම, රාජ්‍ය, පෞද්ගලික කොන්ත‍්‍රාත් සේවකයින් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉල්ලා ආණ්ඩුවට බලකරමින් මෙම උද්ඝෝෂණය පවත්වන බව හෙතෙම අවධාරණය කළේය.


එමෙන්ම ලක්‍ෂ 65 ක් වු පෞද්ගලික අංශය වෙනුවෙන් වැටුප් වැඩි කිරිමට නීති සකස් කළ යුතු බවද ඔහු මෙහිදී සඳහන් කළේය.


මෙම අයවැයෙන් තම ඉල්ලීම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් ඉදිරියේදී රටේ සියළු ජනතාව ඒකාබද්ධ කරගත් දැවැන්ත ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණය වන බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.


මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් සමන්ත කෝරලේ ආරච්චි, ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ලංකා තැපැල් සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ, රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි, රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති යූ. පලිහවඩන, ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල්, ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් රැසක් සහභාගී වූහ.



Post a Comment