ලොතරැයියේ සේවකයිනුත් මොණරාගල ඡන්ද වැඩ - NEM/IHR

මොණරාගල දිස්ත‍්‍රික්කයේ ස්ථාපිත කර ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්බන්ධීකරණ කාර්යාලය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයන් සහ එම ආයතනයේ සම්පත් විශාල ප‍්‍රමාණයක් යොදා ගනිමින් ප‍්‍රචාරක කටයුතු සිදුකරන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසඳයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය (NEM/IHR) පවසයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස එම සංවිධානය මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියි.


එකී ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.


සහකාර මැතිවරණ කොමසාරිස්තුමා,

මැතිවරණ කාර්යාලය,

මොණරාගල.

මහත්මයාණෙනි,


ලොතරැයි මණ්ඩල සේවකයින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම.


2014 ඌව පළාත් සභා මැතිවරණයට අදාළව මොණරාගල දිස්ත‍්‍රික්කයේ ස්ථාපිත කර ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්බන්ධීකරණ කාර්යාලය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයන් සහ එම ආයතයේ සම්පත් විශාල ප‍්‍රමාණයක් යොදා ගනිමින් ප‍්‍රචාරක කටයුතු සිදුකරන බවට පැමිණිල්ලක් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසඳයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය (NEM/IHR) වෙත ලැබී ඇත.


අදාල පැමිණිල්ලේ සඳහන් වන තොරතුරු අනුව එම ප‍්‍රචාරක කටයුතු සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ ලලිත් කුමාර, ජනක ලියනගේ, බුද්ධික මහේෂ් කුමාර, වරුණ ජයවික‍්‍රම, තිළිණ අසංක, ප‍්‍රගීත් සම්පත් සහ ලසන්ත කුමාර යන සේවකයින් සහ PC 3058" TB 3312, අංක දරණ වෑන් රථ දෙකද ජායා පිටපත් යන්ත‍්‍ර ඇතුළු රාජ්‍ය සම්පත් විශාල ප‍්‍රමාණයක් යොදාගෙන ඇති බවයි.


මේ පිළිබඳව පරීක්‍ෂාකර බලා මෙලෙස රාජ්‍ය සම්පත් හා රාජ්‍ය දේපළ හා එ.ජ.නි.ස යේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම වළකාලීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය පරිසරය සකස් කරන ලෙසත් කාරුණිකව ඉල්ලමු.


ස්තුතියි.


මෙයට,


ආචාර්ය උදිත ගුණසේකර,

ප‍්‍රධාන විධායක,

NEM IHR.



Post a Comment