අපේ මැණිකට එහෙම අත තියන්න බෑ

ශ්‍රී ලංකාව තුළ මැණික් කැණීමේ කටයුතු සඳහා කිසිදු විදේශිකයෙකුට හෝ විදේශීය සමාගමකට බලපත්‍ර ලබා නොදෙන බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ මැණික් වෙළඳ කටයුතු සඳහා සම්බන්ධ විය හැකි නමුත් හවුල් ව්‍යාපාරයක් ලෙස හෝ මැණික් කැණීමේ කටයුතු සඳහා සම්බන්ධ විය නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කරයි.


රන්නපුර හා ඇහැළියගොඩ ප්‍රදේශවල මැණික් කර්මාන්තයේ නිරත පිරිසක් සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ජාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළකළ බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.


ශ්‍රී ලංකාව තුළ මැණික් කැණීම සඳහා විදේශීය සමාගම් විසින් බලපත්‍ර ලබාගෙන ඇති බවට විවිධ ප්‍රචාර පැතිරයාම හේතුවෙන් ඉදිරියේ දී පතල් කර්මාන්තයට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ‍මේ බව පවසා තිබේ.


ඉදිරියේ දී මෙවැනි අවදානම් තත්ත්වය අවම කිරීම සඳහා නීති රෙගුලාසි තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද අමාත්‍යවරයා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට උපදෙස් ලබා දී ඇත.



Post a Comment