සත්ව බිලි පූජාවට බලපත්‍ර එපා! - හලාවත ප්‍රාදේශීය සභාවට ලිපියක්

මුන්නේෂ්වරම භද්‍රකාලි කෝවිලේදී පැවැත්වීමට නියමිත සත්ත්ව බිලි පුජාව සඳහා බලපත්‍රයක් ලබා නොදන ලෙස ජාතික සංඝ සම්මේලනය හලාවත ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාතික සංඝ සම්මේලයේ පුත්තලම දිස්ත්‍රික් නියෝජිත වෙන්නප්පුව ශාසනාරක්ෂක බල මණ්ඩයේ සභාපති පුජ්‍ය බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස ස්වාමීන් වහන්සේ විසින් මේ සම්බන්ධයෙන් වූ ඉල්ලීම් ලිපිය හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට බාර දෙන ලෙස ඉල්ලමින් එහි ප්‍රධන කළමණාකරන සහකාර එම්.පී.කුරුකුලසූරිය මහත්මිය වෙත 04 වැනිදා දහවල් බාර දුන්නාය.


හලාවත - මුන්නේෂ්වරමේ පිහිටි කාලි දේවාලයේදී වාර්ශිකව ප්‍රසිද්ධියේ සිදු කරන සත්ත්ව බිලි පුජාව තහනම් කරන ලෙස ඉල්ලමින් ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන 16 ක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිබුණි.


එය විභාග කළ අභියාචනාධිකරණය සත්ව ඝාතනය වළක්වමින් තීන්දුවක් ලබාදුන් අතර එම තීන්දුවට එරෙහිව මුන්නේෂවරම කාලි දේවාලයේ භාරකාර මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කරන ලදී.


ඊයේ (03) එම පෙත්සම සලකා බැලූ අගවිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සත්ත්ව බිලි පුජාවක් පවත්වනේ නම් ඒ සඳහා හලාවත ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා ගත යුතු බවට නියෝග කරන ලදී.


හලාවත - මුන්නේෂ්වරම කාලි දේවාලයේ වාර්ෂිකව පවත්වන බිලි පුජාව ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බව දැන ගන්නට ඇති බවත්, කිසියම් ආකාරයකින් ඒ සඳහා බලපත්‍රයක් ඉල්ලුම් කළහොත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් හලාවත ප්‍රාදේශීය සභාව වෙත ජාතික සංඝ සම්මේලනය විසින් බාර දී ඇති ලිපියේ සඳහන් වේ.


එමෙන්ම මෙම ලබන 09 සත්ත්ව බිලි පුජාව පැවැත්වීමට එහි පුජකවරුන් සුදානම් වන බව දැන ගන්නට ඇති බවත්,යම් ආකාරයකින් එසේ කළහොත් එය අධිකරණයට අපහාස කිරීමක් වන බව සඳහන් කරමින් තමන් වහන්සේ හලාවත පොලීසිය හමුවේ පැමිණිල්ලක් ගොණු කරන බවද පුජ්‍ය විනීත තිස්ස හිමියන් පැවසීය.


ශ්‍රේෂ්ඨාධිකරණ්‍ය විසින් ලබා දුන් බව කියන නියෝගය සම්බන්ධයෙන් තමන්ට මේ වන තුරු කිසිදු ලිඛිත සටහනක් ලැබී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බවත්, තම නීතිඥයින්ගේ උපදෙස් නොමැතිව මාධ්‍යය වෙත ප්‍රකාශයක් කළ නොහැකි බවත් මේ සම්බන්ධයෙන් විමසූ විට හලාවත - මුන්නේෂ්වරම භද්‍රකාලි දේවාලයේ මහේන්ද්‍රන් පුජකවරයා කියා සිටියේය.


සත්ත්ව බිලි පුජාව පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන තුරු කිසිදු තීරණයක් ගෙන නොමැති නමුත් බැතිමතුන් විසින් සත්ත්ව බිලි පුජාව සඳහා දේවාලයට ගෙන එන සතුන් බාර ගැනීම සාමාන්‍ය ආකාරයට සිදු කරන බවද මහේන්ද්‍රන් පුජකවරයා පැවසීය.


(පුජ්‍ය විනීත තිස්ස හිමියන් විසින් හලාවත ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කළමණාකරන සහකාර එම්.පී.කුරුකුලසූරිය මහත්මිය වෙත ඉල්ලීම් ලිපිය බාර දුන් ආකාරය)


ඡායා රූ - ජූඩ් සමන්ත



Post a Comment