බණ්ඩාරවෙල පොලිස් ලොක්කාටත් මාරුවක් - තනතුරත් නැති කරයි

මැතිවරණ දින (20) බණ්ඩාරවෙල පොලීසියේදී එජාප හා සන්ධාන ක්‍රියාකාරීන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම පාලනය කිරීමට පියවර නොගත් නිසා බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.කේ කරුණාසේන මහතා ස්ථානාධිපති තනතුරින් ඉවත් කර බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලීසිය කියයි.


ඌව පළාත්සභා මැතිවරණයේ ඡන්ද වීමසීම් කටයුතු සිදුවෙමින් තිබියදී පසුගිය 20 වැනිදා උදේ 10.30 ට පමණ බණ්ඩාරවෙල නගරයේ ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබුණි.


එහිදී එජාප ආධාරකරුවකුට ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර එම ආධාර කරුවා ද රැගෙන 10.45 පමණ බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල පොලීසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය තුළ දී බහින් බස්වීමක් සිදුව ඇතැයි වාර්තා විය.


එම අවස්ථාවේදී පොලීසියට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් බණ්ඩාරවෙල නගරාධිපතිවරයාට පොලීසිය තුළදී ම පහරදුන් බවට එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් චෝදනා කර තිබිණ.


මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ බණ්ඩාරවෙල නගරාධිපතිවරයා දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරුකර යවන ලදී.


මේ අතර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද පවසා තිබුණේ තමන්ද පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගිය අවස්ථාවේ එජාප ආධාරකරුවන් විශාල පිරිසක් තමන්ට පහරදුන් බවකි.



Post a Comment