කොළේට නැතත් මහඇමති මමයි-හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට තියෙයි

කොළේට මහ ඇමති නොවුණත් තමා ඌව පළාත් ජනතාවගේ හදවත්තුළ ජීවත්වන මහඇමති බව හිටපු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේසා විශාල ප්‍රමාණයක් ඡන්ද ලබාගනිමින් වුව පළාතේ මහඇමතිවරයා වීමට නොහැකිවීම ගැන සියුම් කනගාටුවක්ද පවතින බව හෙතෙම කියා සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


එසේ වුවද පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස තමන් ඉදිරියේදී දැඩිව කටයුතු කරන බවත්,ජ.වි.පෙ නියෝජනය කරනා සමන්ත විද්‍යාරත්න වුවද සහය වන බවත්, ඒ නිසාම ඉදිරියේදී ශෂීන්ද්‍රට මහඇමති ලෙස කටයුතු කිරීම කරදරකාරී වනු ඇති බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.


මැතිවරණයෙන් පසු සිදුකරන ලද පහරදීම් වලදී දැඩි සේ තුවාල ලැබූ මාධ්‍යවේදියාට ලක්ෂ 8ක වියදමින් සැත්කමක් කිරීමට සිදුව ඇති බවත්, බදුල්ලේ උදවිය එහි සිටින මාධ්‍යවේදීන් හඳුනන බැවින් මොහුට පහරදී ඇත්තේ කොළඹින් ගිය පිරිස් බව පැහැදිලි වන බවත් ඔහු පෙන්වාදුන්නේය.


විශේෂයෙන්ම ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාට අයත් විදේශ රැකියා අමාත්‍යංශයේ මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාහනද මෙම පහරදීම සඳහා යොදාගෙන තිබුණු බවත්, ඩිලාන්ගේ වාහනයේ ‘දැන් හරිද? යනුවෙන් දැක්වෙන වාක්‍යය ඛණ්ඩයක් ප්‍රදර්ශනය කර තිබීමෙන් මෙම පහරදීම පිටුපස ඔහු සිටිය බව මනාව පසක් වන බවත් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.


ඩිලාන්ගේ පමණක් නොව රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මැතිවරණ ආසනයද රජය පරාද වූ නමුත් ඔහු මෙලෙස කෝපයෙන් පහරදීම් කිරීම සඳහා ඉදිරිපත් නොවුණු බව ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.


එතුමා ගරු කටයුතු ලෙස දේශපාලනයේ නියැළෙන පුද්ගලයෙකු බවත්, නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයාට තමන් වුවද ගරු කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.


ඌවෙන් පසු එක්සත් ජාතික පක්ෂය පණ ගසා නැඟී සිටින තත්ත්වයක් තුළ පක්ෂය තුළ සිදුවූ තනතුරු හුවමාරුවීම් සුබදායි වනු ඇති බව ඔහු පැවසුවේය.


නායකත්ව මණ්ඩලය ඉදිරියටත් පැවතිය යුතු බවත්, කරූ ජයසූරිය මහතා පක්ෂයේ විනය ක්‍රියාමාර්ග ගැනීම ආදිය සිදුකරනු ඇතිවා සේම පක්ෂය සමගි කරවීමටත් දැවැන්ත කැපකිරීමක් කළ පුද්ගලයෙකු බවත්, සජිත්ට පවා යළි නියෝජ්‍ය නායකත්වය ලබාදීමට ඔහු පැහැදිලිවම එකඟවූ බවත් ප්‍රනාන්දු මහතා පෙන්වාදුන්නේය.


තමා ඡන්ද 50,000 ට වඩා ගතහොත් ඉල්ලා අස්වෙන බව බස්නාහිර පළාත් අමාත්‍ය ගම්මන්පිල මහතා විසින් කියන ලද නමුත්, ඔහු කිසිසේත්ම ඉල්ලා අස්වනු නොමැති බව හරීන් අවධාරණය කළේය.


ගම්මන්පිල මෙන් නොව දයාසිරිලා, රනිල්-කරූ-සජිත් එකම වේදිකාවට ගෙන ආවොත් කන කපාගන්නා බව ප්‍රකාශ කළ බවද ජනතාවට අමතකව නොමැති බව ඔහු සිහිපත් කළේය.


මෙය තමන් ලැබූ පුද්ගලික ජයග්‍රහණයක් වුවද මෙයින් ලබා ගත් ගැම්මෙන් ඉදිරියට කටයුතු කළ යුතුව ඇති බවත්, මේ වන විට රටේ ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරී ඇති බව මෙයින් පෙන්නුම් කෙරෙන බවත් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.


ඉදිරි මැතිවරණ වලදී තවත් හොඳ චරිත කිහිපයක් ඉදිරිපත් කිරීමට පක්ෂය සූදානම් වන බවත්, ‘හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට‘ දැකබලාගත හැකිවෙනු ඇති බවත් හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment