ඇපල් රුවන් අද ලංකාවට ගෙනඑයි?

මහත් ආන්දෝලනයකට තුඩුදුන් මීගමුවේ රුපියල් දෙකෝටියක ස්‌වර්ණාභරණ කොල්ලයේ ප්‍රධාන සැකකරු බවට සැකකරන පීටර් සම්පත් රුවන්සිරි හෙවත් ඇපල් රුවන් නැමැත්තා අද (05) මලයාසියාවේ, ක්‌වාලාලම්පූර් සිට ශ්‍රී ලංකාවට රැගෙන එන බව පොලිස් ආරංචි කියයි.

පසුගිය අප්‍රේල් 17 වැනිදා උදෑසන 11.25ට පමණ මී‍ගමුව නගරයේ ඔරලෝසු කණුව අසළ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසැලකට ඇතුළු වූ කණ්ඩායමක් එහි තිබූ රුපියල් දෙකෝටියකට අධික මුදල් හා රන් ආභරණ කොල්ල කා පලාගොස් තිබුණි.


එම කොල්ලය සඳහා දැනට බන්ධනාගාරගතව සිටින එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දුගේ උපදෙස් මත “ඇපල් රුවන්” ඇතුළු කණ්ඩායමක් ක්‍රියාකළ බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණ.


ඒ වනවිට ඇපල් රුවන් නැමැත්තා රහසිගතව මලයාසියාවට පලා ගොස් තිබිණ.


එසේ මැ‍ලේසියාවට පැනගත් රුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔස්සේ ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කෙරිණ.


ඒ අනුව එරට ආරක්ෂක අංශ විසින් වීසා නොමැතිව එරට රැඳී සිටි ඇපල් රුවන් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පිටුවහල් කිරීමට මලයාසියානු ආගමන විගමන බලධාරීන් නියෝග කිරීමෙන් පසු හෙතෙම ශ්‍රී ලංකා පොලිස්‌ කණ්‌ඩායමට බාරදී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.


මෙම කොල්ලය සම්බන්ධයෙන් රොයිස් ප්‍රනාන්දුට අමතරව ඔහුගේ රියැදුරු බව කියන ඉර්ෂානුත් ඉර්ෂාන්ගේ මිතුරකු වන ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරිඳුත් ඇපල් රුවන්ගේ ගෝලයකු වන කෂීනා නමැති අයෙකුත් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.


මෙම කොල්ලයට සම්බන්ධ තොරතුරු හෙළි වූයේ ඇඟළුම් ශාලාවක සේවය කළ තරිඳු ඇඳ සිටි ටී ෂර්ටය ඔස්සේ පොලීසිය පරීක්ෂණ පැවැත්වීමත් සමගය.



Post a Comment