තවුහීඩ් ජමාත් මහාධිකරණයට ගෙනයන්න බලනවා - පොලීසිය මහේස්ත්‍රාත්ට කියයි

තවුහිඩ් ජමාත් සංවිධානයේ නායකයින්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (04) ප්‍රකාශ කර තිබේ.

බුදුදහමට අපහාස කළ බවට තවුහිඩ් ජමාත් සංවිධානයේ නායකයින්ට එරෙහිව ගොණු කළ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද විභාගයට ගත් අවස්ථාවේ පොලිසිය මේ බව දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


සිද්ධියට අදාළ වාර්තාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.


එමෙන්ම තවුහිඩ් ජමාත් සංවිධානය විසින් සිදුකළ බව කියන ප්‍රකාශය පිළිබඳ බුද්ධශාසන අමාත්‍යාංශයෙන් අදහස් විමසීමට ද පියවර ගෙන ඇති බව පොලිසිය දැනුම් දී තිබේ.


තවදුරටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා කල් ලබාදෙන ලෙස පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා ඇත.


කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබන දෙසැම්බර් මස 11 වන දින නඩුව යළි කැඳවීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.


එදිනට පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දී ඇත.


නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ තවුහිඩ් ජමාත් සංවිධානයේ නායකයා ඇතුළු නියෝජිතයින් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටි බව ද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.



Post a Comment