බාලාට සමුදෙන්න සංගම් මූලස්ථානයට යන්න

ශ්‍රී ලංකා වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැවැන්තයෙකුවූ වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලා තම්පෝ මහතාගේ දේහය අද(02) ප.ව 1.00 ට පමණ වෘත්තීය සංගම් මූලස්ථානයට ගෙන එන බව වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ නියෝජ්‍ය මහලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා පවසයි.

එතැන් සිට එළඹෙන සිකුරාදා දින (05) දක්වා බාලා තම්පෝ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අදාළ දේහය කොල්ලුපිටිය,දෙවන පටුමගේ වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ මූලස්ථානයේ තැන්පත් කර තබන බව හෙතෙම අද දෙරණට සඳහන් කළේය.


දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සිකුරාදා දිනයේ ප.ව 3.00 ට අවමංගල්‍යය පෙරහැර සංගම් මූලස්ථානයෙන් පිටත්ව බොරැල්ල පොදු සුසානභූමිය දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


92 වැනි වියේ පසුවූ බලා තම්පෝ මහතා සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දහවල් 3.15ට පමණ ජීවිතක්ෂයට පත්විය.



Post a Comment