ඔස්ට්‍රේලියාව සරණාගතයින්ට කාම්බෝජයේ දොරත් විවරකරයි

රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට පලාඑන සරණාගතයින් මින් ඉදිරියට කාම්බෝජයේ නැවත පදිංචි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

ඒ අනූව කාම්බෝජයට සරණාගතයින් යැවීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට දෙරට එළඹීමට නියමිතය.


ඔස්ට්‍රේලියාවේ ආගමන විගමන කටයුතු අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හා කාම්බෝජ රජයේ නියෝජිතයින් අතර නව ගිවිසුම හෙට (25) අත්සන් තැබීමට කටයුතු යොදා ඇත.


කෙසේ වුවද සරණාගතයින් කාම්බෝජයට යවනු ලබන්නේ එම සරණාගතයින්ගේ කැමත්ත අකමැත්ත විමසා බලාය.


ඔස්ට්‍රේලියානු හරිත පක්ෂයේ සරා හැන්ග් යන් මෙම තීරණයට විරෝධයට පළ කරමින් පවසා ඇත්තේ එය වූ කලී “ඔස්ට්‍රේලියාවට අනවශ්‍ය පුද්ගලයින් කුණු කූඩයකට දැමීමක් හා සමාන” බවක් ලෙසය.


මේ අතර කාම්බෝජයේ මානව හිමිකම් සංවිධාන ද නව තීරණයට විරෝධය පළ කර ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කරයි.


කෙසේ ‍වුවද දෙරටම නව ගිවිසුමට හෙට එළඹීම නියත බවද එම වාර්තාවල දැක්වෙයි.


සරණාගත රැකවල් අපේක්ෂාවෙන් වාර්ෂිකව ඕස්ට්‍රේලියාවට පුද්ගලයින් නීති විරෝධි අයුරින් මුහුදු මාර්ගයෙන් ඇතුළුවීම පසුගිය වසර කිහිපයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි.


කෙසේ වුවද ඔස්ට්‍රේලියානු රජය විසින් මීට පිළියමක් ලෙස ගනු ලැබූ තීරණයක් මත සරණාගතයින් එරට ක්‍රිස්මස් දූපතේ රැඳවීමට පියවර ගත්තේය.


ඉන් නොනැවති ඔස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ තවත් තීරණයක් වූයේ සරණාගතයින් නාවුරු දූපතට යැවීමටටය.


දැන් එම තීරණ දෙකට අමතරව තවදුරටත් පැමිණෙන සරණාගතයින් කාම්බෝජයට යැවීමට ඔස්ට්‍රේලියානු රජය නවතම තීරණයකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



Post a Comment