ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ දිවියට සමුදෙයි

ප‍්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ මහතා අද (01) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට රෝගාතුරුව සිටි ඔහු කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්වන විට 73 වන වියේ පසුවිය.


1940 සැප්තැම්බර් 11 වනදා උපත ලද ඔහු සහෝදරයන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ අතර 1963 දී ලංකා විශ්ව විද්‍යාලයට(කොළඹ) ඇතුළුවී වැඩිදුර අධ්‍යාපනය හදාළේය.


විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු සීමා සහිත හේලීස් සමාගමේ භාෂා පරිවර්තකයකු වූ ඔහු 1970-1981 දක්වා ගුවන් විදුලි සංස්ථාවේද, 1982-1994 දක්වා රූපවාහිනී සංස්ථාවේද, 1994 සිට රූපවාහිනී අභ්‍යාස ආයතනයෙහිද සේවය කළ අතර 2001 සිට ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයකු වශයෙන් කටයුතු කළේය.


බන්දුල විතානගේ මහතා විසින් “එළිය(පරිවර්තනය)-2002,ඒ සොඳුරු මිනිසා 2003,මේඝ ගර්ජනා - 1969,ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් 1971,බේකට් - 1974,වැනීසියේ වෙළෙන්දා 1980,මැක්බත් (පර්වර්තන)- 2001 යන නාට්‍ය නිර්මාණය කළේය.


අවස්ථා කිහිපයදී හෙතෙම සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.


බන්දුල විතානගේ මහතාගේ දේහය හෙට බොරැල්ල, ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර 4 වන බ්‍රහස්ප්‍රතින්දා එය කලාභවනේ තැන්පත් කර තබන බව පවුලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


එදින සවස 4.00 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment