නොරොච්චෝලේ විවෘත කළත් සම්පුර්ණ ධාරිතාව ලබා ගන්න බෑ

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ තුන්වැනි අදියර විවෘත කළ ද එහි මුළු ධාරිතාව ජාතික විදුලි බල පද්ධතියට ලබා ගැනීමේ දුෂ්කරතාවක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනුජිත් දසනායක මහතා පවසන්නේ අනුරාධපුරය ප්‍රදේශය දක්වා විදුලිය රැගෙන යාම සඳහා ඉදි කෙරෙන අධි බලැති විදුලි සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීම සඳහා එල්ලවී ඇති විරෝධතාව මෙයට හේතුවී ඇති බවයි.


අදාළ සම්ප්‍රේෂණ කුළුණු කිඹුල් දුපත ආශ්‍රිත පුත්තලම් කළපුවේ ද ඉදිකිරීමට ද යෝජිතව තිබේ.


මෙම සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීම මගින් තම ධීවර රැකියාවට දැඩි අහිතකර බලපෑමක් එල්ල වන බව පසුගිය දා උද්ඝෝෂණයක නිරත වු ධීවරයින් ප්‍රකාශ කළේය.


විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සෙනුජිත් දසනායක මහතා පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ තෙවන අදියරේ යටතේ විදුලි ජනක යන්ත්‍ර තුන විවෘත කළ ද අනුරාධපුරය දක්වා දිවෙන විදුලි රැහැන් පද්ධතිය සම්පුර්ණ නොවීම හේතුවෙන් බලාගාරයේ උපරිම ධාරිතාව උත්පාදනය කිරීම අනතුරුදායක බවයි.


තෙවන අදියර අවසන් වීමත් සමඟ නොරොච්චෝලේ විදුලි බලාගාරය මගින් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කළ හැකි වෙයි.


අදාළ සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකර අවසන් වන තෙක් නොරොච්චෝලේ බලාගාරයෙන් මෙගාවොට් 600 ක පමණ විදුලියක් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බව සෙනුජිත් දසනායක මහතා පැවසුවේය.


නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන අදියර සැප්තැම්බර් මස 16 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.



Post a Comment